(ඩයනා උදයංගනී)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ප්‍රසිද්ධ භික්‍ෂූන් වහන්සේනමක් තමාට ආරාධනා කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මුදල් නොමැති වුවත් හැකි විදියට ජනාධිපතිවරණයට තරග කරන්නැයි උන් වහන්සේ කී බව කී ඇමතිවරයා තමා මුදල් උපයා නැති නමුත් මිනිසුන් හම්බ කරගෙන ඇතැයි ද සඳහන් කළේය.
පක්‍ෂ කරේ දමාගෙන හෝ නායකයින් වර්ණනා කරමින් තමා කටයුතු කරන්නේ නැතැයි ද කී ඇමතිවරයා මොන විරෝධතා පැමිණියත් කිව යුතු දේ ඍජුව ප්‍රකාශ කරමින් රට ආරක්‍ෂා කරගැනීමත්, බඩගින්නේ සිටින ජනතාව ඉන් මුදාගැනීමත් තම මූලික පරමාර්ථය බව ද ප්‍රකාශ කළේය.
දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජනප‍්‍රිය අමාත්‍යවරුන්ට විවිධ චෝදනා නැගූ වෛද්‍ය සංගමය ඉදිරි මහ මැතිවරණයේ දී වෛද්‍යවරුන් 07 දෙනෙකු ඉදිරිපත් කිරීමට සුදානම් වන බවද අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් වැඩි කිරීම ඇතුළු වෙනත් රජයන්ට වැඩි සේවාවක් වත්මන් රජය කළ බව හා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් තමා කළ මෙහෙවර බොහෝ දෙනාට අමතක බව කී අමාත්‍යවරයා වෛද්‍යවරුන් තමාට විරුද්ධ අහිංසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඔවුන්ට ලක්ෂ ගණන් මුදල් අහිමි වීම නිසා බව ද කීවේය.

