කොටි සංවිධානයට අවි සැපයූබව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේපී ට ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයෙන් ආරක්ෂාව ලබා දී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන අතරතුර අගමැති එලෙස සඳහන් කළේය.
‘‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් වඩා වැඩි ආරක්ෂාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කරනවා. අති නවීන ඉහළ තාක්ෂණයක් සහිත ඉතා වටිනා උපකරණ රැසක් හිටපු ජනාධිපතිවරයා විසින් ගෙනගොස් තිබෙනවා. මේ අතර වෙඩි නොවදින බෙන්ස් කාරයක්, වෙඩි නොවදින බී.එම්.ඩබ්ලිව්. රථයක්, ඔහු ගෙනගොස් තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එවැනි දේ නැහැ. හිටපු ජනාධිපතිවරයා අරගෙන ගිය උපකරණ ඉතා විශාල වශයෙන් ප්‍රයෝජනවත් වන ආරක්ෂක උපකරණ. ඊට සමාන දේ දැන් ජනාධිපතිටවත් අගමැතිටත් නැහැ. අපි දෙදෙනාම භාවිතා කරන්නේ අඩු පහසුකම් සහිත පරණ වාහන‘‘ අගැමති වරයා කීවේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පොලිසියේ 105 දෙනකු යොදවා ඇති බවයි. ඒ අතර සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනකු ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දෙදෙනකු, පොලිස් පරීක්ෂකවරු හත් දෙනකු, උප පොලිස් පරීක්ෂකවරු අට දෙනකු, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක්, පොලිස් සැරයන්වරු 22ක්, කාන්තා පොලිස් සැරයන්වරියන් තිදෙනකු, පොලිස් කොස්තාපල්වරු 45ක්, කාන්තා පොලිස් කොස්තාපල් වරියන් හත් දෙනකු හා පොලිස් රියදුරන් හත් දෙනකු යොදවා ඇතැයි ද අගමැතිවරයා කීවේය. හමුදාවේ කර්නල් වරයකු ඇතුළු නිලධාරීන් 14 දෙනකු හා සෙසු නිලයන් 90ක් ආරක්ෂාවට යොදා ඇතැයි ද අගමැතිවරයා හෙළි කළේය.
හිටපු ජනාධිපතිවරයා ගෙනගිය ආරක්ෂිත උපකරණ අතර එක්ස්රේ යන්ත්‍රයක්, සෙවුම් දොරටුවක්, බෝම්බ සොයන උපකරණ දෙකක්, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනිමේ උපකරණ දෙකක්, ෆයිබර්ස්කෝප් යන්ත්‍රයක් හා මල්ටිපල් සර්ච් මිරර් හෙවත් බහුවිධ සෙවුම් දර්පණයක් ද ඇති බව වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
‘‘ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව හිටපු ජනාධිපතිවරයකුට කෑම බීම කළමණා ඇතුළු හිමිකම් ලබාදිය යුතු ආකාරය දක්වා තිබෙනවා. එක් නිල නිවාසයක්, ලේකම්වරයෙක්, ලේකම්ට වාහනයක් ඇතුළු පහසුකම් දෙනවා කියා දන්වා තිබෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා කුමාරතුංග යන හිටපු ජනාධිපතිවරු දෙදෙනාම ඊට වා වැඩි ප්‍රමාණයක් ආකර්ෂක පහසුකම් ලබාගෙන තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙනගොස් තිබෙනවා බෙන්ස් කාර් දෙකයි, වෙඩි නොවදින අති නවීන බෙන්ස් කාරයයි, වෙඩි නොවදින බී.එම්.ඩබ්ලිව්. කාරයයි, ඩිෆෙන්ඩර් එකයි, ඩබල් කැබ් එකයි, ලේකම්ට ලෑන්ඩ් කෘෂර් එකයි, කාරයයි, ඩිෆෙන්ඩර් තුනයි, ලෑන්ඩ් කෘෂර් ජීප් තුනයි, ඩබල් කැබ් දෙකයි, සින්ගල් කැබ් තුනයි, ට්‍රක් හතරයි, බස් දෙකයි, යුද හමුදා කණ්ඩායම සඳහා යතුරුපැදි තුනයි. “
“ වත්මන් ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයට ගියේ නැහැ. කොළඹ කොටුවේ වෙනත් නිවසක් පිළිසකර කර භාවිතා කරනවා. මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු විජේරාමේ පිහිටි නිවස අපි හිටපු ජනාධිපතිවරයාට දුන්නා. දිනේෂ් ගුණවර්ධන මහතා කියනවා හිටපු ජනාධිපතිවරයාට ගෙයක් අවශ්‍යයි කියා. අපි ඒක ගැන සාකච්ඡා කරලා ඉක්මනින් පිළියමක් දෙන්නම්. ඡන්ද කාලයේ දී වැඩියෙන් ආරක්ෂාව අවශ්‍යනම් එයත් දෙන්නම්. එතුමාට දී තිබූ ආරක්ෂාව අපි අයින් කළේ නැහැ. හිටපු ජනාධිපතිගේ ජිවිතය අනතුරේ දමන්න කටයුතු කළේ නැහැ.

