(සටිනාමළුව අනීෂා මානගේ)
බැඳුම්කකර කොමිසමෙන් හෙළි වූ කරුණු නිසා ඉදිරියේදී ජනාධිපතිවරයාට ජීවිත තර්ජන පවා එල්ල විය හැකියැයි එක්සත් ජාතික නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමක වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසගතවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූවේ හම්බන්තොටදී පැවති ජන හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
‘‘ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත්වුණා.
ඒ හරහා මෙතෙක් ලංකාවේ සිදුවූ විශාලතම මුදල් වංචාව පිලිබඳ තොරතුරු රැසක් හෙළිදරව් වුණා. ඒ නිසා අපි හිතන විදිහට ඉදිරියේදී ජනාධිපතිතුමාගේ ජීවිතයට පවා තර්ජන එල්ල වීමේ අවදානමක් තියෙනවා.
ශ්‍රී ලංකාවේ පළමුවරට ආණුඩුවක් විසින් මහා සොරකමක් සම්බන්ධයෙන් පත්කළ කොමිෂන් සභා වාර්තාව දැන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙනවා. මීට පෙර මෙවැනි කොමිෂන් කීයක් නම් පත් කළාද? ඒවා මඟින් ලබා දුන් වාර්තා සියල්ල හමස් පෙට්ටියට ගියා. නමුත් ඉතිහාසයේ පළමු වතාවට මුදල් වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීම සහ එම වාර්තා කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාය.
ඒ නිසා තමන්ගේ නායකත්වයෙන් තිබෙන රජයේ මුදල් වංචාවක් සොයා බැලීම සඳහා කොමිසමක් පත් කිරීම ගැන එතුමා ඉතිහාසගත වෙනවා.
මීට පෙර කවදාවත් එවැන්නක් සිදු වී නැහැ. බොහෝවිට කොමිෂන් වලින් වුනේ හොරකම යට ගහපු එකයි. අපි කියන්නේ මේ රමේ දේශපාලනය පිරිසිදු වීමට නම් මහජන දේපළ ගසාකාපු සියලු දෙනාට අනිවාර්යෙන්ම දඩුවම් කළ යුතු බවයි.අපි දන්නවා පසුගිය ආණුඩුව කාලයේදීත් මහජන දේපළ සොරකම් කළ අය සිටියා. දැන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඒ නිසා අපි මේ ආණුඩුව පත් කලේ උඹේ හොරකම මම වහන්නම්. මගේ හොරකම් උඹ වහපන් කියලා දෙගොල්ලෝම සොරකම් කරන්න නෙවෙයි. අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මහජන දේපළ වංචා කරානම් කවුරුත් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ හොරකම් වලට ඉඩදෙන කෙනෙක් නෙවෙයි. එතුමා රටට හොඳ ආදර්ශයක් දී තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එතුමා ආරක්ෂා කර ගත යුතු යැයි ද අමාත්‍යවරයා පැවසීය.

