ජනපතිට-අගමැතිට හැර අන් කිසිවකුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් බෑ


ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හැර, අන් කිසිදු ප‍්‍රභූවරයකුට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නොමිලේ ගමන් කිරීමට අවසර නැතැයි වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා පෙරේදා (30) ප‍්‍රකාශ කළේය. එය විශේෂ ගැසට් නිවේදනයකින්ද ප‍්‍රකාශයට පත් කර ඇතැයි කොතලාවල මහතා කීවේය. දකුණු අධිවේගී මාර්ගය භාවිත කිරීමට පැමිණෙන ඇතැම් රියැදුරන්, ”තමන් අහවල් ප‍්‍රභූවරයාගේ කෙනෙක්” යැයි ප‍්‍රවේශ කවුළුවල සිටින නිලධාරියාට ප‍්‍රකාශ කරමින් මුදල් නොගෙවා යාමට උත්සාහ දරා ඇතැයි කී නියෝජ්‍ය ඇමැතිවරයා එහෙත් එසේ නොමිලේ යාමට කිසිවකුටත් නොහැකි යැයි කියා සිටියේය. ඇමැතිවරුන් පවා අදාළ ප‍්‍රවේශපත‍්‍රයේ මිල ගෙවීම අනිවාර්ය බව ඔහු සඳහන් කළේය. අධිවේගී මාර්ගය ඉදිකිරීමට විශාල මුදලක් වැයවූවා මෙන්ම, එය නඩත්තුවටද විශාල වියදමක් දරන්නට සිදුවන බව කී කොතලාවල මහතා තමන් ගමන් කරන දුර වෙනුවෙන් මුදල් ගෙවීමට සෑම කෙනකුටම යුතුකමක් තිබෙන බව සඳහන් කළේය. මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා වුවද තමාත්, දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන බවද කොතලාවල මහතා කීය. වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා, පෙරේදා (30) පෙරවරුවේ දොඩංගොඩ සිට අධිවේගී මාර්ගයේ කොට්ටාවට වාහනය පදවාගෙන පැමිණ, ප‍්‍රවේශපත‍්‍ර කවුළුව වෙත මුදල් ගෙවූ අයුරු.    (ඡායාරූප රොමේෂ් ධනුශ්ක සිල්වා)