ජනපතිගේ අගමැතිගේ ෆේස්බුක් වැඩ - ගම්මන්පිල



 
විනීතා එම් ගමගේ
 
ආණ්ඩුව වෛරී ප්‍රකාශ පාලනයට මුවාවී සමාජ මාධ්‍ය ජාල තහනම් කර ඇත්තේ ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
 
ජනතාවට ෆේස් බුක් තහනම් කර ජනාධිපතිවරයා හා අගමැතිවරයා පමණක් එම මාධ්‍ය භාවිතා කිරීම කොතරම් සදාචාරසම්පන්න දැයි හෙතෙම ප්‍රශ්න කළේය. 
 
සාමජ මාධ්‍ය ජාල තහනම් කරමින් ආණ්ඩුව ලෝකයට විහිලූ සැපයීම නොනවත්වා කරන්නේ යැයි ද ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය. 
 
පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මුලස්ථානයේ අද (12) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වු ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසීය.
 
‘‘මහනුවර ඇති වුණු ගැටුම ඉවරයි.  ඇඳිරි නීතියත් ඉවරයි.  හදිසි නීතියත් අනිද්දායින් ඉවරයි.  නමුත් ෆෙස්බුක් තහනම තවම ඉවර නෑ.  ආණ්ඩුව මේ හදන්නේ දඹුලු ගිහින් තලගොයි මරන්නයි.  වෛරී ප්‍රකාශ පාලනයට මුවා වෙලා  ආණ්ඩු විරෝධය මර්දනය කරන්නයි. 
 
පසුගිය කාලයේ ආණ්ඩු විරෝධයේ උල්පත වී තිබුනේ සමාජ මාධ්‍ය ජාලාවන්. ඒ නිසා මේ ඇති වු කලබලයට මුවා වෙලා සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීමේ වෑයමක යහපාලනය සහ ප්‍රකාශනය හා නිදහස පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව මේ මොහොතේ යෙදී සිටින බව ඉතාම කණගාටුවෙන් උනත් සිහිපත් කරන්න අවශ්‍යයි. ඊට අපි ඉඩ දෙන්නේ නෑ කියන එකත් ජනතාවට අවධාරණයෙන් සිහිපත් කරනවා. ‘