ජනපති හා අගමැති ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි - කරුණා අම්මාන්


සිරාජ් හසීම්
 
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිතරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
 
යුරෝපා රටක් තුළ මැතිවරණයකින් මෙවන් ජනමතයක් ලැබී ඇතිනම් එම රටවල්හි නායකයින් සිය තනතුරුවලින් ස්වේච්ඡාවෙන්ම ඉවත්ව යන බවද කරුණා අම්මාන් මහතා තවදුරටත් කියා සිටියේය.
 
පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ එක්සත් නිදහස් පෙරමුණ මඩකලපුව කිරාන් ප්‍රදේශයේ (13) වැනිදා පැවැත්වූ ජනහමුවකදී කරුණා අම්මාන් මේ අදහස් පලකර සිටියේය.
 
එහිදී වැඩිදුරටත් අදහසද් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේද කිය.
 
‘‘ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් පක්ෂය පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා කියල මම මීට මාසයකට කලින්ම මාධ්‍ය හමුවේ පැවසුවා.යුරෝපා රටක අද මේ ලංකාවේ පැවති ඡන්දයේ ප්‍රතිඵලය ලැබී තිබුනේ නම් ඔවුන් විසින්ම තනතුරුවලින් ඉල්ලා අස්වෙලා ඇති.
ශ්‍රීලංකාවේ පළාත් පාලන ආයතන 340න් 239කම බලය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙත හිමිවුනා.
 
මෙම මැතිවරණයේදී මහජනතාව නිසි ලෙස සුදුසු විදිහට ඡන්දය ප්‍රකාශ කරල තිබෙනවා.අපගේ පක්ෂය වන දෙමළ එක්සත් නිදහස් පෙරමුණද මඩකලපුව දිස්ත්‍රීක්කයේ ආසන හතක් ජයග්‍රහණය කලා.
 
මෙය අප පක්ෂය ලැබූ ජයග්‍රහණයක් කියල කියන්න කැමතියි.අපි අළුත් පක්ෂයක් පිහිටුවාගෙන වසරයි ගතවුනේ.අප පක්ෂය මුහුණදුන් පළමු මැතිවරණයද මෙයයි.අපි ජනමතයට ගරු කරනවා.ඉදිරියේදී ප්‍රගතශීලී දේශපාලන සැලැස්මකින් දේශපාලන ගමන ශක්තිමත් කරගන්නවා.‘‘