(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පුත්තලම පැවති රැස්වීමකට බලහත්කාරයෙන් කඩාවැදීමට සුදානම් වූ විරෝධතාවය මෙහෙයවූ ප්‍රාදේශීය දේශපාලඥයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 20 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා පැවසීය.
මෙම පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් පරික්ෂවරුන් සහ උප පොලිස්වරුන් ඇතුළු විශේෂ කණ්ඩායම් කීපයක් යොදවා හඳුනාගෙන ඇති බවත් ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් අධිකාරිවරයා පැවසීය.
මෙම සැකකරුවන් ඇතුළු පිරිස් පසුගිය 22 වැනිදා අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වා ජනාධිපතිවරයා පුත්තලමට පැමිණි අවස්ථාවේදී සාකච්ඡා සඳහා හමුවිය යුතු බව දන්වා මෙසේ විරෝධතාවයේ යෙදී තිබිණි.
එම විරෝධතාවය පැය හතරකට ආසන්න කාලයක් නගරය පුරා පැවති අතර පසුව ජනාධිපතිවරයා හමුවීමට මෙම විරෝධතාකරුවන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබිණි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීමට කඩා වැදීමට සුදානම් වූ අවස්ථාවේ දී පොලිසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කරමින් පලවා හැරීමට කටයුතු කර තිබු බව පොලිසිය පවසයි.
මෙම විරෝධතාවයට එක්වූ පිරිස අතරින් එය මෙහෙය වීමට කටයුතු කළ ප්‍රධාන සැකකරු ඊයේ (24) අත්අඩංගුවට ගැණිනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විඩියෝ දර්ශන සහ තවත් සාක්ෂි රැසක් උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර සිටින දේශපාලඥයින් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අතර අනෙක් තැනැත්තා පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ද වන බව පොලිසිය පවසයි.

