(විනීතා එම් ගමගේ)
ජනාධිපති සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඬලීමට තම පූර්ණ සහය පළ කරන බව ජනාධිපතිවරයා හමුවූ විදෙස් තානාපතිවරු ප්‍රකාශ කළේයැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පැහැදිලි කළ ජනාධිපතිවරයා මතුවූ හදිසි තත්ත්වය මැඩපැවැත්වීමට ගත් පියවර පිළිබඳව තානාපතිවරුන්වෙත පැහැදිලි කළේය.
ප්‍රහාර එල්ල වූ වහාම එම ස්ථාන වටලා අදාළ පිරිස් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ බවත් විමර්ශන කටයුතු ද විධිමත්ව ඉදිරියට ක්‍රියාත්මක බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
එම විමර්ශන කටයුතුවල දී ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30 ක යුද්ධයේ අත්දැකීම් මෙන්ම පසුගියදා මහනුවර සිදුවීම පිළිබඳව ලැබු අත්දැකීම් ද ඉවහල් කරගන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරි විමර්ශන කටයුතු සඳහා තාක්ෂණික සහයෝගය ලබාදීමට ත්‍රස්තවාදය මැඬලීම පිළිබඳ උසස් තාක්ෂණික දැනුම සහිත බලවත් රටවල් 08 ක් මේ වන විට ශ්‍රී ලංකාවට කැමැත්ත පළ කර තිබෙන බව ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත්ම අපේක්ෂා නොකරන ලද්දක් බවයි.
මෙවන් ප්‍රහාරයක් පිළිබඳ වාර්තා බුද්ධි අංශයට ලැබී තිබුණ ද ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අදාළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට බලතල නොතිබූ බවත් කෙසේ වෙතත් ඉදිරියේ දී ඇතිවිය හැකි මෙවන් තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත් එමෙන්ම ඇතිවිය හැකි ප්‍රවණතාවයන් සමඟ ඉදිරියේ දී ආරක්ෂක අංශවල ප්‍රතිසංශෝධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

