ජනපති යාපනයේ විරෝධතාකරුවෝ හමු වෙයි


(සිතුම් චතුරංග)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපන සංචාරය අතරතුර  දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින්  විරෝධතාවක් පැවැත්වූ අතර ඒ අසලින් ගමන් ගත් සිරිසේන මහතා මදකට නතර වී එම විරෝධතාකරුවන් හමු විය.

නඩු නොමැතිවම රිමාන්ඩ් කර වවුනියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිබෙන දෙමළ සිරකරුවන් තිදෙනකු යළිත් වවුනියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ඉල්ලමින් පිරිසක් අද දිනයේ යාපනයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

නඩු නොමැතිව සිර බාරයේ සිටින සිරකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විරෝධතාකරුවෝ ජනපතිවරයාගෙන් ඉල්ලූහ.

එහිදී ජනපතිවරයා පැවසුවේ ඉක්මණින් සාකච්ඡාවක් ලබා දෙන බවයි.

ඊට පිළිතුරු දෙමින් විරෝධතාකරුවන් පැවසුවේ නඩු කිහිපයක්  සම්බන්ධයෙන් මේ වන විට සත්‍යග්‍රහයක නිරත වන තිදෙනා සම්බන්ධයෙන් මුලින් විසඳුමක් ලබා දෙන ලෙසයි.

ජනපතිවරයා හින්දු විද්‍යාලය වෙත පැමිණෙමින් සිටි මග දෙපස කළු කොඩි ඔසවමින් රැඳී සිටි මෙම පිරිස අතරට ගිය ජනපතිවරයා ප‍්‍රකාශ කළේ උතුරේ වේවා දකුණේ වේවා  ඕනෑම අයෙකුට ප‍්‍රශ්න තිබේනම් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට තමා සූදානම් බවයි.

එම විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබූ අතර යාපනය අධිකරණය ,යාපනය හින්දු විද්‍යාලය හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසල විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය පනවා තිබිණි.