ජනපති මෛත්‍රීට පොහොට්ටුවේ සහාය දෙන්නේ නෑ - ජී. එල්. පීරිස්


බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් නිල නායකයා වන ජී.එල් පීරිස් මහතා කීවේ ජනාධිපත් මෛත්‍රීපාල සිරිසේන මහතා  වර්තමාන රජයේ ප්‍රබල පුරුකක් නොවන නමුත් එහි මුදුන් හිණිපෙත්තේම සිටින බවයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා මෑතකදී කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා  නම් කරන බවයි. 

‘‘2020 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා එකවාගේ අදහස් ඇති දේශපාලන පක්ෂ රැසකින් යුත් දැවැන්ත සන්ධානයක් හදනවා“ කියලා දුමින්ද ඇමතිවරයා කියලා තිබුණා. 

වර්තමාන රජයේ ක්‍රියා කලාපය නිසා  ජනතාව ඉතාමත් විශාල ලෙසින් පීඩා විඳින බවත්  තවත් අවුරුදු පහක් ඔවුන්ට මෙසේ පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේය.