(මොහොමඩ් ආසික්)
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
අද (11) මහනුවර ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීවේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
පසුගිය අවුරුදු කිහිපයක් තුළ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට විශේෂයෙන් මත්කුඩු මත් පෙති ජාවාරමට හසු වෙලා නීතියෙන් වැරදිකරුවන් වෙලා මරණීය දණ්ඩය ලබා සිරගතව ඉන්න පිරිසක් ඉන්නවා.
කොකේන් හෂීස් මර්ජුවානා නිසා මරණීය දණ්ඩණ නියම වූ අය ඉන්නවා. ඒ මරණ දණ්ඩණය නියමවූ පුද්ගලයන් සිරගෙදර ඉඳල රටතුළ මත්ද්‍රව්‍ය බෙදමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම කරනවා.
මරණ දණ්ඩණය නියම වූ අයට මරණ දණ්ඩණය දීම සඳහා අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයායි. බෞද්ධයෙක් විදිහට ලොකු වාද විවාද තියෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩණයට නියම වී සිරගත ව සිටිමින් එසේ මරණ දඬුවමට නියම වීමෙන් පසුවත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණ දණ්ඩනය නියම වූවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා මා මාගේ අත්සන තබනවා. මම පවක් කර ගන්නේ නෑ හෙට උපදින දරුවන් වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් තමා එය කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.