ජනපති බදාදා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතයි


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බදාදා (30) එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.

නිව්යෝර්ක් වෙලාවෙන් එදින පෙරවරු 9.45 ට (ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා පෙරවරු 3.05) ජනාධිපතිවරයා සමුළුව අමතනු ඇත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඉකුත් 25 වැනිදා ඇරඹූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසිවාරයේදී ‘70 වැනි වසර සපුරන එක්සත් ජාතීන්, සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම පිළිබඳ ඉදිරි මඟ’ යන තේමාව යටතේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින් අදහස් දැක්වීමට නියමිතය.

මීට පෙර ජනාධිපතිවරයා ලෝක නායකයින් රැසකගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ආර්ථික සමුළුවකටද සහභාගී වූයේය.

ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , පකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂෙරීෆ්, ස්විට්සර්ලන්ත ජනාධිපති ඩිඩයර් බර්කාල්ටර් , දකුණු අප‍්‍රිකා ජනාධිපති ජේකොබ් සූමා ඇතුළු රාජ්‍ය නායකයින් රැසක්  සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.

ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සභාපති පීටර් මවුරේ මහතා හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප‍්‍රධානීන් සමඟද ලංකා ජනපති සාකච්ඡා පැවැත්වීය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන්, සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ යන මහත්වරුද ජනපති සමග නිව්යෝක් නුවරට ගොස් සිටිති.

ලබන 2 වැනිදා ජනාධිපති ප‍්‍රමුඛ රජයේ දූත පිරිස දිවයිනට පැමිණේ.