( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඉදිරියේදී ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී අදාළ බලධාරීන්ගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව එම පත්කිරීම් සිදු කරන බව ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න මහතා ලිපියක් මඟින් අද (31) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය කාලය පුරා නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කර ඇතැයි කියමින් සහ එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් නීතීඥවරයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද සළකා බැලූ අවස්ථාවේදී ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් නීතිපතිවරයා මෙම දැනුම් දීම සිදු කරන ලදී.
මෙම පෙත්සම් එල්.ටී.බී.දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.
පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය කියා සිටියේ මේ බව සඳහන් කරමින් අදාළ ලිපිය ජනාධිපති ලේකම්වරයා නීතිපති වෙත යොමු කර ඇති බවය.
එම කරුණ සැළකිල්ලට ගත් විනිසුරු මඬුල්ල පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කිරීම අගෝස්තු 9 වැනි දිනට කල් තැබිණි.
පසුගිය කාලය පුරා නිසි ක‍්‍රමවේදයකින් තොරව ජනාධිපති නීතීඥවරුන් පත්කර ඇතැයි කියමින් සහ එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි කියමින් නීතීඥවරයකු වන උපුල් කුමරප්පෙරුම මහතා ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති වෙනුවෙන් නීතිපති, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, එහි ලේකම් , ජනාධිපති ලේකම්වරයා නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ. පෙත්සම්කරු වෘත්තීයෙන් නීතීඥවරයෙකි.
පසුගිය වසර 3ක කාලය තුළ, එනම් 2017 , 2018 සහ 2019 වසර වලදී පමණක් ජනාධිපති නීතඟඥවරුන් 75 දෙනෙකු පත්කර ඇති බව පෙත්සම්කරු කියා සිටී. ඔවුන් පත් කිරීමේදී පිළිගත් නිර්ණායකයන් අනුගමනය කර නොමැති බවද පෙත්සමේ සඳහන් වේ.
සාමාන්‍යයෙන් එම ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේදී වසර 25 ක වෘත්තීය සේවා කාලය පැවතීම, නීතීඥ ක්ෂේත‍්‍රයට ඉටුකළ සේවය සළකා බැලීම සිදුවන බවද පෙත්සම්කරු කියා සිටී.
නමුත් පසුගිය කාලය පුරා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමේ නිසි ක‍්‍රමවේදයකට අනුව සිදූවී නොමැති බවත් , මේ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද දැනුවත් කළ බව පෙත්සම්කරු කියා සිටී.

