ජනපති දකුණු කොරියාවට


දින තුනක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් මහතාගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙලෙස දකුණු කොරියාවේ සංචාරය නිරත වන්නේ ‘දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව’ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 40ක් ගෙවෙන තැනය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි මන් මහතා අතර අනිද්දා (29) දකුණු කොරියානු ජනපති නිල නිවස වන ‘නීල නිවස’ (බ්ලු හවුස්) හිදි ද්විපාර්ශවීක සාකච්ඡා පැවැත්වීමට නියමිතය.එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් පිරි නැමීමට නියමිතය.

දෙරට අතර පවතින අන්‍යෝනය සබඳතා ශක්ති කරගැනීම ආදිය සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත අතර මෙම සාකච්ඡාවලට දෙරටේ අමාත්‍යවරු ද සහභාගී වෙති.

ආර්ථික සහයෝගීතාව, ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුල, සංස්කෘතික සහයෝගීතාව,  ආයෝජන සහයෝගීතාව සහ රැකිය අවසරදීම් පද්ධති ආදිය සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට ද නියමිතය.

රැකිය අවසරදීම් පද්ධති ගිවිසුම් මෙම සංචාරයේදී අත්සන් තැබෙන වඩාත් වැදගත් ගිවිසුමකි. දැනටමත් ශ්‍රී ලාංකිකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් කොරියාවේ රැකියාවල නිරතව සිටින අතර මෙම ගිවිසුමත් සමඟ තවත් ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ රැකියාවල නිරතවීමට අවස්ථාව උදා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (28) සවස පෞරාණික කොරියානු බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේෂා විහාරස්ථාන නැරඹීමට නියමිත අතර කොරියාව වෙනුවෙන් දිවි පුද කළ සොල්දාදුවන් සිහිපත් කිරීම උදෙසා ඉදි කර තිබෙන ස්මාරයකට හෙට   පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවන අතර කොරියානු ව්‍යාපාරික සංගම් හතරක් සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිවරයා කොරියානු ව්‍යාපාරික හමුවකට ද සහභාගී වීමට නියමිතය.

055