ජනපති තීන්දුවට වෛද්‍ය සිසු මාපියෝ එකඟ නොවෙති


රංජන් කස්තුරි
 
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා බව කියමින් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරුණු ගැටලු සහගත බැවින් ඒ සඳහා කෙසේවත් එකඟවිය නොහැකි යැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

 
සයිටම් ගැටලුවට නිසි විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂාකළද ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවෙන් සියලු බලාපොරොත්තු සුනු විසුනු වී තිබෙන බවද වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ ලේකම් ගාමිණී ඒකනායක මහතා පැවසීය.
 
මාලබේ සයිටම් ආයතනයේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 961 ක් වන අතර ඉන් 110ක් පමණ සිසුන් මූලික සුදුසුකම් සපුරා නැති බවද එම නිසා ඔවුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට විරෝධය දක්වන බවද ඔහු කීය.