ජනපති ඝාතන කුමන්ත්‍රණ නඩුවේ නාලක ද සිල්වාට ඇති චෝදනා ගැන වාර්තාවක් ඉල්ලයි


(නිමන්ති රණසිංහ)

මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණය සැළසුම් කළැයි කියන සිද්ධියට  සම්බන්ධ  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා  මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්කි මොනවාද යන්න පිළිබඳ  අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම සාක්කි සම්පිණ්ඩන වාර්තාව ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද මහෙස්ත්‍රාත් නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කරනු ලැබුයේ  තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම්  ප්‍රමාණවත් සාක්කි නොමැති බවයි. ඒ හෙයින් සිය සේවා දායකයා මුදා හැරීමට කටයුතු කරන මෙන් තමා ඉල්ලා සිටින බවද ඔහු දන්වා සිටියේය.

නිතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනීසිටි  නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම සැකකරුට විරුද්ධව  ඝාතන කුමන්ත්‍රණය සම්බන්යෙන් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී ඇති බවයි.

මෙම සියලු  කරුණු සළකා  බැලු අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.