බරපතල අපරාධ හා වංචා විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසමට මහාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමේ බලයක් ජනපතිට නැති හෙයින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති එම කොමිසමට කැඳවීමට බලයක් නැතැයිද කොමිසම නීති විරෝධී යැයිද හිටපු ජනපතිගේ නීතිඥ ගාමිණී මාරපන මහතා අද (15) මූලික විරෝධතාවයක් මතු කළේය.
කොමිසමේ කිසිම කටයුත්තක් නීතියට එකඟ නැති බවත් හිටපු ජනපතිවරයා කැඳවූ ස්වාධීන රූපවාහිනී දැන්වීම් සිද්ධියේ කෙළවරක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිටින බවත් ඔහු කියා සිටියේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පිළිතුරු දෙමින් කියා සිටියේ කොමිෂන් සභා පනත යටතේ විනිසුරුවරුන් පත් කිරීමේ බලය ජනපතිවරයාට ඇති හෙයින් මාරපන මහතාගේ මූලික විරෝධය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.
කොමිසමේ සභාපති මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු පංච පුද්ගල කොමිසම අද හිටපු ජනපති කොමිසම හමුවට කැඳවිණි. මාරපන මහතාගේ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව මිනිත්තු 20කින් පමණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සමග කොමිසමේ නිලධරයකුගේ කාර්යාලයේ තේ බොමින් සිටිනු දක්නට ලැබිණි.

