විනීතා එම් ගමගේ
අග‍්‍රමාත්‍ය ධුරය පිළිබඳව මතය විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ට ගියහොත් ඒ පිළිබඳ තම අදහස් දැක්වීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
අග‍්‍රාමාත්‍යවරයා ඉවත්කළ හැකිද යන්න පිළිබඳ මතය දැන ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට ව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් සුදානමින් සිටින බව මාධ්‍ය වාර්තා කර ඇති බවත් ඒ අනුව තමන්ද ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන්ගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බවත් පිවිතුරු හෙළඋරුමය පක්ෂ කාර්යාලයේ දී අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
මීට පෙර අවස්ථාවකදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසු අවස්ථාවේ තමන් ඉදිරිපත් කළ කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් බව ද මන්ත‍්‍රීවරයා පැවැසීය.
පවතින ආණ්ඩුව පිළිබඳ සත්‍යය තවමත් ජනතාව අතර කථාබහට ලක්වී නැතැයි පැවසූ මන්ත‍්‍රීවරයා සියයට 13ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබු ජනාධිපතිවරයා ගේ පක්ෂය සියයට 87 ක්ම ප‍්‍රතික්ෂේප කර ඇතැයි කීය. එමෙන්ම සියයට විසිතුනක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබු එක්සත් ජාතික පක්ෂය සියයට 67 ක් ජනතාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇතැයි ද පෙන්වා දුන්නේය.
මේ අනුව තව දුරටත් ආණ්ඩු කරගෙන යන්නට මේ දෙපිරිසම සුදුසු නොවන බව ජනතාව පෙන්වා දී ඇති නමුත් ආණ්ඩුව මේ බව පිළි නොගන්නේ යැයි ද පැවැසීය. මේ තත්ත්වය යටතේ මහ මැතිවරණයකට යන්නට ඒකාබද්ධ විපක්ෂයේ සියල දෙනා කැමැත්තෙන් සිටින බව ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය.