ජනපති ඉල්ලීම සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් රැස්වෙයි


(තිළිණි  ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ, මනෝප්‍රිය ගුණසේකර)
 

තම ධුරය දැරිය හැකි කාලය පිළිබඳ මතයක් ප්‍රකාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කර ඇති ඉල්ලීම සළකා බැලීමට අගවිනිසුරුවරයා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) විවෘත අධිකරණයේ රැස්විණි.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ත් මහතා එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ඊවා වනිසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ.ටි.චිත්‍රසිරි හා සිසිර ද අබෘ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරයි.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමා බලයට පත්වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාගේ ධුර කාලය අවුරුදු හයක් වුවද මෑතකදී සම්මත කරගත් 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් නැතිනම් 6ක් යන්න සොයා බලා ලබන 14 වැනි දා පෙර මතය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීම අද (11) දවස පුරා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සළකා බැලීමට නියමිතය.

මෙහිදී නීතිපති ඇතුළු විවිධ පාර්ශව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා අර්ථ නිරූපණ සඳහා බලය පවතින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

(ඡායාරූප - ශාන්ත රත්නායක)