(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින 11ක විදෙස් සංචාරයකින් අනතුරුව අද (23) දිවයිනට පැමිණෙයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වුණු ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඉකුත් 13 වැනිදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ස්විට්සර්ලන්තයේ සිට උගන්ඩාවට18 වැනිදා පිටත්ව ගියේ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගී වීම සඳහායි.
ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන්නට පැමිණ සිටි රාජ්‍යනායකයන් රැසක් සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් උගන්ඩාවේ දී ඉකුත් 19 වැනිදා පැවැත්විණි.
ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළේය.
එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip E. Davis) ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed), බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්ම මහත්මීහු ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූහ.

