ජනපති අගමැති රුවත් බිතු සිතුවම්වල


ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය දාගැබ ජනතා අයිතියට පත් කිරීම පසුගිය ඇසළ පෝ දින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. පුරා විද්‍යාඥ රෝලන් පෙරේරා මෙම කාර්යයට දායක විය.

එහි ඇඳ තිබූ සිතුවම් අතර මෛත්‍රී ජනපති හා අගමැති රනිල් ගේ රුව සහිත සිතුවමක්ද විය. ඔවුහු මල් වට්ටි රැගෙන දාගැබ වැඳීමට පැමිණෙන ආකාරය එහි සිතුවම්ව තිබිණි. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියෝද එහි වෙති.

1997 වර්ෂයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය. උස අඩි තුන්සිය හතළිස් පහකින් හා වට අඩි එක් දහස් තුන්සිය පනස් පහක් පමණ වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු වසර දාහතක් සිදු කළේය. 
 
වසර අටසීයයක පමණ කාලයකට පසුව මෙහි සංරක්ෂණ කටයුතු සිදු කර ඇති අතර මේ සදහා රුපියල් මිලියන පන්සිය දහනවයක පමණ මුදලක් වැය කර තිබේ. 
 
ලෝක උරුමයක් වන අභයගිරිය චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සදහා දෙස් විදෙස් බැතිමතුන්ගේ ශ්‍රම දායකත්වය ලැබී තිබේ. 
 
සංරක්ෂණය කළ අභයගිරිය ස්ථුපය සදහා ප්‍රථම ස්ථූප පූජාව සිදු කළ ජනාධිපතිතුමා විහාර පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවකද නිරත විය.
 
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ලෝකයේ බොහෝ රටවල් වර්තමාන දියුණුව පිළිබද පමණක් උදම් ඇණුවත් ශ්‍රී ලාංකිකයින් වන අපට අපේ මහා පෞඩ ඉතිහාසය පිළිබදවද උදම් ඇණිය හැකි බවයි.
 
එම මහා සංස්කෘතික උරුමයන් රැක ගනිමින් මතු පරපුරට  දායාද කිරීම සියලූදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිතුමා අවධාරණය කළේය. 
 
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, අභයගිරිය විහාරාධිපති කල්ලංචියේ රතනසිරි නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද, අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, නන්දිමිත්‍ර ඒකනායක, දුමින්ද දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ද විදෙස් තානාපතිවරුන් ද ඇතුළු විශාල පිරිසක්ද මෙම පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
 

11 22 33