ජනතාවාදී දැක්මක් ශ්‍රීලනිපයට ගේනවා - මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස


ජනපති අපේක්ෂාව ඉටුකරමින් ප‍්‍රබල ජනතාවාදී ව්‍යාපාරයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ස්වදේශවාදී සහ ජනතාවාදී දැක්මක් සහිත වඩා හොඳ සංවර්ධනයක් රට තුළ ඇතිකිරීම ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ  අපේක්ෂාව වන අතර ඊට ශක්තිමත් දායකත්වයක් සැපයිය හැකි නිෂ්පාදන ආර්ථිකයක්, දේශීය චින්තනයක් සහ ජනතාවාදී දැක්මක් සහිත ප‍්‍රබල ව්‍යාපාරයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීමට කැපවන බවද මහාචාර්යවරයා පැවසීය.

 

පක්ෂයේ ඉදිරි කටයුතු වෙනුවෙන්  අපේගම පරිශ්‍රයේදී අද (03) පැවැති නව නිලධාරි මණ්ඩලය තෝරාපත්  කර ගැනීමේ අවස්ථාවේදී අභිනව පක්ෂ  තාවකාලික මහ ලේකම්වරයා ලෙස මහාචාර්යවරයා මේ අදහස් පැවසීය.

 

එහිදී අදහස් දැක්වූ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැන්නකි.

 

‘ මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ගත් විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවමත්  තනි පවුලකට සීමා වී තිබුණද 1952 වසරේ බණ්ඩාරනායක පවුලෙන් ඇරැඹි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අද වන විට ඈත ගමක ගොවි පුතෙකු වෙත හිමිවන අන්දමට පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී ඇති බවයි.

 

සමාජ විකාශනය, සමාජ සංවර්ධනය සහ සමාජ අභිවෘද්ධිය පිළිබඳ කතාකරන විට පහළ සමාජ පංතිය වෙත ලැබී ඇති මෙම නායකත්වය හරහා මේ රටේ දිළිඳු ජනතාවගේ අභිවෘද්ධිය ඇති කිරීම වෙනුවෙන් සියලූදෙනා සාමුහිකව ඒකරාශිවීම පක්ෂයට අද දවසේ පැවරී ඇති ප‍්‍රමුඛ වගකීම බව ද ඒ මහතා කියා සිටියේය.