ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි


(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමුකළ සහල් මෙටි්‍රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය.

කීරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම්දී ඇති බවත් ඒ මහතා කීය.

කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශවීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා ප්‍රකාශ කරන බව කී ඒ මහතා නොමිලයේ ලැබෙන්නේ නම් සහල් කන්ටේනර් 200 කට හෝ අනුමැතිය ලබාදිය හැකි යැයි පවසා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් තමන් නොමඟ යැවූ බව ද ඒ මහතා සඳහන් කළේය

මෙම සහල් තොගයෙක් කොටසක් මෙරට ප්‍රධානම ආගමික නායකයෙක් ද ජනතාවට පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් ද කර තිබූ බවත් ජනතාවට සහන දීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි පරිත්‍යාගවලින් තීරු බදු නිදහස් කිරීම බවත් ඒ මහතා පැවසීය.

මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයාබලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.