ජනතාවගේ බලාපොරොත්තු ඉටුකළ නොහැකි වූ බව අගමැති පිළිගනී


අලුත් නායක පරපුරක් බිහි කිරීමට කැපවී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
 
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද අරලියගහ මැදුරේදී එජාපයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ පැවැති සාකච්ඡාවකදීය. ඉතා කෙටි කාලයක් තුළ රට ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ගැනීමට අදාළ යෝජනා සහ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා  විය.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය. 
 
‘පසුගිය කාලය තුළ අපි ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාවගේ කැමැත්තක් නැති බව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පැහැදිලි වෙනවා. ලෝකයේ බොහෝ රටවල මෙවැනි ඡන්ද පවත්වන්නේ ජනතා මතය දැන ගැනීමටයි. ඒ අනුව ජනතාව තම වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙනවා ද, නැතිනම් එයට විරුද්ධ වෙනවා ද කියා මැන බැලිය හැකියි. මේ කටයුත්ත ඇමරිකාවේ නීතියෙන් සිදුවෙනවා. එරට ජනාධිපති පත්කර ගැනීමෙන් පසු වසර දෙකක් ගතවන විට මහජන මන්ත්‍රී මණ්ඩලය යලිත් තෝරා පත්කර ගන්නවා. වෙනත් රටවල පළාත් හෝ පළාත් පාලන මැතිවරණ පාලන කාලය මැද භාගයේ දී පවත්වනවා. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය මේ වන විටත් අපි පිළිගෙන තිබෙන බව කිව යුතුයි. 
 
ආණ්ඩුවක් ලෙස ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම ඉටුකර දීමට නොහැකි වූ බව අපි පිළිගත යුතුයි. නමුත් ගතවූ කාල පරිච්ඡේදය දෙස බලන විට අපි වැඩකටයුතු නොකළා කියා කාටවත් කියන්න බැහැ. අපි වැඩකටයුතු කර තිබෙනවා. ඇතැම් ඒවායේ වේගය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකියි. තවත් සමහර කටයුතු ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිඵල දෙස අවධානය යොමු කර ඒ අනුව වැරදි හා අඩුපාඩු සකස් කර ඉදිරියට යෑමට අප තීරණය කර තිබෙනවා. 
 
ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආණ්ඩුවේ අමාත්‍ය විෂයන්වල වෙනසක් සිදුවන බව කිව යුතුයි. මේ වෙනස්කම් සිදු කෙරෙන අතරම ආණ්ඩුවේ ප්‍රතිපත්ති කෙරෙහි ද අපේ අවධානයට යොමු කළ යුතුයි.  ආණ්ඩුවේ වැඩකටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යන ගමන් එක්සත් ජාතික පක්‍ෂයේ අපි කැපවී සිටින්නේ අළුත් නායක පරපුරක් බිහිකිරීමටයි. ඒ නායක පරපුර ඇමැතිවරු අතරත් සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරත් සිටිනවා. පළාත් සභා මෙන්ම පක්‍ෂය තුළ ද සිටිනවා.
 
ප්‍රථමයෙන්ම ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙස අපි බැලිය යුතුයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු අතරින් මේ පිරිස අද මෙම ස්ථානයට කැඳවා තිබෙන්නේ අපේ ප්‍රතිපත්ති හා ආණ්ඩුව ගත් පියවර දෙස අවධානය යොමු කර අනාගතය සඳහා ඇති කළ සංශෝධන මොනවාද, අපි රැඩිකල් මාවතක ගමන් කළ යුතු ද කියා සාකච්ඡා කර තීරණය කිරීම සඳහායි.  සම්ප්‍රදායික වශයෙන් එම වැඩකටයුත්ත භාර දෙන්නේ ජ්‍යෙෂ්ඨ අයටයි. නමුත් මේ අවස්ථාවේ අපි අළුත් නායක පරපුරක් බිහිකිරීමට යන නිසා මේ ඇමතිවරු අතර අනාගතයේ පක්ෂය ඉදිරියට ගෙන යන පිරිසකට ඔවුන්ගේ අදහස් ලබාදෙන ලෙස මා භාරදී තිබෙනවා. 
 
මෙලෙස ලබාගන්නා අදහස් ජනාධිපතිතුමා සමගත්, අනෙක් ඇමතිවරු සමගත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් දී තිබෙනවා. එම කාලය තුලදී මෙම අදහස් හා යෝජනා ඇතුලත් වාර්තා අපි බලාපොරොත්තු වෙනවා. මෙය එක්සත් ජාතික පක්ෂය යන අළුත් මාර්ගයේ කොටසක් පමණයි. අපේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහාත් කණ්ඩායමක් ලබන සතියේදී පත් කරනවා. මාසයක් තුලදි මේ වැඩකටයුතු සිදුකර ඉදිරියට යෑම අපේ බලාපොරොත්තුව බව කිව යුතුයි. 
 
අද මෙම ස්ථානයට කැදවන ලද මේ කණ්ඩායම තවදුරටත් සාකච්ඡා කර මට වාර්තාවක් ලබාදීමට නියමිතයි. එය ලැබුණ පසු ජනාධිපති තුමා සමගත් අනෙක් අමාත්‍යවරු සමගත් සාකච්ඡා කිරිමට මා බලාපොරොත්තු වෙනවා. මෙය නවීකරණය සදහා අප ගන්න වැදගත් පියවරක් බව මා කියන්න කැමතියි. 

(ඡායාරූප ලහිරු හර්ෂණ)