ජන නායකයින් කැඳවන්නයි කතානායකගෙන් ඉල්ලති


ආරියරත්න  රණබාහු

අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක වලින් ආරම්භ වී ඇති තත්ත්වය  රටපුරා ජනතාවට ඉමහත්  බියක් ගෙනදිය හැකි බැවින්  එය තවදුරත්  ප්‍රචලිත නොවීම සඳහා දේශපාලන පක්ෂ  නායකයින් සිවිල්  සංවිධානවල නායකයින්  කැඳවා  සාකච්ඡා කිරීමට මැදිහත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කතානායක කරුජයසුරිය මහතාගෙන්  පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන්  මැදිහත්වන ලෙස කරුණූ දක්වමින් විමල් වීරවංශ ,ගයන්ත කරුණාතිලක සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු කතා කළහ.

විමල් වීරවංශ මහතා

මහනුවර දිස්ත්‍රික්කයට මේ වන විටත්  ඇදිරිනීතිය දාලා .සිංහල මිනිස්සු විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව මේ දෙගොල්ලොම අද ජීවත් වෙන්නේ බයෙන්.ආණ්ඩුවේ අගමැතිවරුන් චෝදනා කරන්නේ ආණ්ඩුවට පොලීසියට.
මේ තත්ත්වය මේ විදියට දිග්ගැස්සෙනකම් ආණ්ඩුව  කිසි ගාණක් නැතිව බලන් ඉන්නවා. මේක ජාතික අපදාවක් වැනි තත්ත්වයක්.මේක ඇවිලෙන්න දෙන්න එපා.අපිට ලැබෙන ආරංචි හිත සතුටු කරන ආරංචි නෙවෙයි.ආණ්ඩුවක් කියලා එකක් මේ රටේ  තියෙනවානම්  පණ ඇති ආණ්ඩුවක්  තියෙනවානම්  මේ විනාශය නතර කරන්න. මේක කරන්න බැරිනම් තමුන්නාසේලා  යන්න කරන්න පුළුවන් කෙනෙකුට ඒක බාර දෙන්න.රට අරාජිකවෙලා රටේ මිනිස්සු  නීතිය අතට අරගෙන කපාකොටා ගන්නවා, ගිනි තියාගන්නවා,මරාගන්න ඉඩ දීලා ඔහේ උඩබලාගෙන ඉන්නවා.

කතානායක කරුජයසුරිය මහතා

මේ ගැන අද උදෙත් අවධානය යොමු කළා

විමල් වීරවංශ මහතා

මේක අපේ ප්‍රශ්නයක් නොවෙයි. මේ විනාශ වෙන්නේ අපේ සමාජය  මේ ගැන කතා කරන්න කෝ කවුරුත් නැහැ. ඇමැතිවරු ඉන්නවා කප්පරක්.ප්‍රශ්නයක් ආපු වෙලාවට බොහෙතකටවත් හොයාගන්න  ඇමැති කෙනෙක් නැහැ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා

අද උදේ  කැබිනට්   මණ්ඩලය රටේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා.හවස ආරක්ෂක ප්‍රධානීන් කැඳවා නැවත සාකච්ඡා කළා.මෙහිදී අවශ්‍ය සියලුම පියවර  ගැනීමට රජය කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ.

උදේ පැවැති කැබිනට්  මාධ්‍ය  හමුවට  වගකිව යුතු ඇමැතිවරු  කිහිප දෙනෙක් සහ සහ මාණ්ඩලික ප්‍රධානීන් ,ආරක්ෂක ප්‍රධානීන් සහභාගී වී පවතින තත්ත්වය පිළිබඳව දැනුවත් කළා. දැන් පවතින තත්ත්වය  යථා තත්ත්වයට පත් කරන්න රජයේ සම්පුර්ණ අවධානය යොමු කර තිබෙනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා

විමල් වීරවංශ  මැතිතුමා  මතුකරපු ප්‍රශ්නය අනුව   මේ වන විට  මහනුවර  දිස්ත්‍රික්කයේ  ඉතාම නරක තත්ත්වයක් ඇති වී තිබෙනවා. ගයන්ත කරුණාතිලක  ගරු  සංවිධායකතුමා රජය වෙනුවෙන් දුන් පිළිතුර මදි.රජයේ ඇමැතිවරු රජයටම චෝදනා කරමින්  තිබෙන නිසා  මේ තත්ත්වය තවත් නරක අතට කඩා වැටෙමින් තිබෙනවා.

ජනාධීපතිතුමා මේ වන විට හදිසි නීතිය පනවා තිබෙනවා. එතුමා  එසේ කර තිබෙන්නේ රට තුළ තිබෙන නරක තත්ත්වය පාලනය කිරීමට නොහැකි නිසා තමයි ජනාධිපතිතුමා හදිසි තත්ත්වයක් පනවා තිබෙන්නේ.
මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයින්  සංවිධාන කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට මැදිහත්වන  ලෙස කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.මේක කල්දාන වෙලාවක් නොවෙයි.