”ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් මා පිදුම් ලබද්දී මගේ හිතට ආපු හැඟීම තමයි කලාකරුවෙකු හැටියට උපන් දේශයට දක්වන්න පුළුවන් ඉහළම උත්තමාචාරය මා ලබා ගත්තා කියලා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා පවා මට සුබ පැතුවේ.”
නව පරපුරේ කුසලතාපූර්ණ රංගන ශිල්පී ජගත් චමිල ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා දිවයිනට පැමිණීමෙන් පසුව ඉරිදා ලංකාදීප ”සඳැල්ල” වෙනුවෙන් ප‍්‍රකාශ කළ උදාන වාක්‍යයයි ඒ.
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජෝ අබේවික‍්‍රමයන් ”පුරහඳ කළුවර” චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ආසියාවේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමෙන් පසුව ලොව හොඳම නළුවාට පිදෙන සම්මානයෙන් පිදුම් ලැබුවේ ”සැමීගේ කතාව” චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ජගත් චමිලය. ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු මෙම සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාවද මෙය වෙයි. ජගත් චමිල විසින් මෙම සම්මානය දිනාගනු ලැබුවේ ඉකුත් 20 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවැති නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේදීයි.
ජාත්‍යන්තර චිත‍්‍රපට උළෙල සඳහා රටවල් 40කින් චිත‍්‍රපට 135ක් සහ කෙටි චිත‍්‍රපට 10ක් ඉදිරිපත් කර තිබුණි. මේ අතරින් කැනඩාවේ ඩොමිනික් පසෙල්, ඇමෙරිකාවේ එඞ්වඞ් ෆලෝන්ස්, ඩෙන්මාර්කයේ සෙබස්තියන් ජේසන්, කියුබාවේ ඕමාර් ෆ්රැුන්කෝ සහ ශ්‍රී ලංකාවේ ජගත් චමිල හොඳම නළුවා සඳහා නිර්දේශවී තිබුණු අතර 20 වැනිදා පැවැති සම්මාන උළෙලේදී ලොව හොඳම නළුවාට පිදෙන සම්මානය ශ්‍රී ලංකාවේ ජගත් චමිලට ප‍්‍රදානය කෙරිණි.
ජාත්‍යන්තරයේ කතා බහට ලක්වූ ”සැමීගේ කතාව” චිත‍්‍රපටය සහ ජගත් චමිල අතර සම්බන්ධය කෙසේ ඇතිවීද? යන්න අපි මේ රංගන ශිල්පියාගෙන්ම අසා දැන ගනිමු.
කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් ලියන ලද ”සැමීගේ කතාව” (SAM'S STORY) ගේ‍්‍රෂන් සම්මානයෙන් පිදුම් ලැබූ නවකතාවක්. මෙම නව කතාවේ එන සැබෑ සැමී ජීවත්ව ඇත්තේ මේ රචකයාගේ නිවසේ. මෙම චරිතයට තියෙන ඇල්ම හේතුවෙන් තමයි ප‍්‍රියංකර විතානාරච්චි මහත්මයා ”සැමීගේ කතාව” චිත‍්‍රපටය නිර්මාණය කළේ.
සැමීගේ චරිතයට මාව තෝරා ගැනීමේ සිද්ධියේ ඒක්තරා ලස්සන කතාවක් තියෙනවා.
ප‍්‍රියංකර විතානාරච්චි මහතාගේ සිනමා වැඩමුළුවකට සහභාගීවීමෙන් තමයි මා එතුමා හඳුනාගෙන සිටියේ. පසුව එතුමා කැනඩාවට ගියා. බොහෝ කාලයකට පසුව එතුමා මට දුරකථනයෙන් කතා කරලා සැමීගේ කතාව නමින් චිත‍්‍රපටයක් නිර්මාණය කරන බව කිව්වා. ඒ සමගම මෙහි ප‍්‍රධාන චරිතයට මාව තෝරාගත් බවක් කිව්වා. සැමීගේ චරිතය විස්තර කළා. ඔහු සංවේදීතාවන්ගෙන් අඩු පුද්ගලයෙක්. මම සැමීගේ චරිතය වටහා ගත්තා.
වසර 10කට පසුව එතුමා කැනඩාවේ සිට ලංකාවට පැමිණියාම මට කතා කළා. මා එතුමාගේ ගෙදර ගියේ ජගත් චමිල විදියට නොවෙයි. සැමීගේ චරිතය මා වටහාගෙන තිබුණු නිසා මා කටේ පුළුන් පුරවාගෙනයි ගියේ. එතුමාට මාව හඳුනාගන්න බැරිවුණා. මම ජගත් චමිල කිව්වාම එතුමා පුදුම වුණා. ඔබ ජගත් නොවෙයි ඔබ තමයි මගේ චිත‍්‍රපටයේ සැමී කියලා කිව්වා. ඒ තමයි ආරම්භය.
ඊට පසුව මට උවමනා වුණා සැබෑ සැමීව දකින්න. අපි ගියා නවකතාකරුගේ ගෙදර. එල්මෝ මහත්මයාගේ ගෙදරට සැමී ඇවිත් තියෙන්නේ නවතින්න තැනක් සොයාගෙන. මේ මහත්වරු ඇවිත් ඉන්නේ සැමී ගැන චිත‍්‍රපටයක් හදන්න. එල්මෝ මහත්මයා එහෙම කිව්වාම තේද? කෝපිද? බොන්නෙ කියලයි සැමී ඇහුවෙ. මා සැමීව තවදුරටත් තේරුම් ගත්තා. ඔහුට පුරුදු වෙලා තිබුණේ වචන ටිකයි. ඒ වචන ටිකත් සමග හැඟීම් ටිකක ජීවත්වන පුද්ගලයෙක් සැමී කියන්නේ.
මාව මේ චරිතයට වෙස් ගැන්වූවේ හේමන්ත ගමගේ. මේ චරිතය සඳහා මට කෘත‍්‍රිම දත් පළඳින්න සිද්ධ වුණා. සැමීව තේරුම් ගත් මොරටුවේ දොස්තර ජයන්ත සහ තාක්‍ෂණ ශිල්පී නෙවිල් යන අය තමයි එය නිර්මාණය කළේ.
සැමීගේ මව ලෙස නිල්මිණි බුවනෙක ඉතා දක්‍ෂ රංගනයක යෙදෙනවා. සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, විල්මන් ජයරත්න, වික්ටර් රාමනායක ඇතුලූ තවත් ශිල්පීන් පිරිසක් තමන්ගේ උපරිම රංගන දායකත්වය ලබා දෙනවා. මෙහි අධ්‍යක්‍ෂවරයාගේ වගකීම පසුකාලීනව කරට ගන්නේ සහාය අධ්‍යක්‍ෂ විමල් දේශප‍්‍රිය බවත් කිව යුතුයි. ජගත් චමිල සතුව රංගන කුසලතාව තිබුණත් එය සැමීගේ චරිතය සඳහා මතුකර ගන්න කැමරා ශිල්පී රුවන් වීරසේකර, වේශ නිරූපන ශීල්පී හේමන්ත ගමගේ, කලා අධ්‍යක්‍ෂ වෙලේගෙදර රණසිංහ, ඇඳුම් නිර්මාණය කළ අතුල සුල්තානාගොඩ විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා.
හොඳම නළුවාට මාව නිර්දේශ වුණාම මටත් මේ උළෙලට යන්න අවශ්‍ය වුණා. අවසාන ප‍්‍රතිඵලය නොදැන ඒ සඳහා මට උදව් කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි රවීන්ද්‍ර රන්දෙණිය සහ සම්මානලාභී චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සුදත් රෝහණ මහත්වරුන්ව මෙහිදී මා ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා. ඒ වගේම මගේ රංගන ජීවිතයේ ගුරුවරයාවන තිස්ස ගුණවර්ධන, පාසල් අවිදියේදීම ”සමනළ කන්ද” නාට්‍ය තුළින් මාව වේදිකාවට කැඳවාගෙන ආ තිස්ස ජයවර්ධන, මාව ”ගුරු ගෙදර” චිත‍්‍රපටය තුළින් සිනමාවට හඳුන්වා දුන් විජය ධර්ම ශ්‍රී යන මහත්වරුන්ගේ දායාදය තමයි මේ සම්මානය.
මං පුංචි කාලේ ජාතික ඇඳුම ඇඳගෙන දහම් පාසල් යන්නට පෙර මගේ අම්මාගේ දෙපා සිප වැද නමස්කාර කරනකොට ”මේ තමයි මගේ පුංචි විජේ” කියා කළ ආශිර්වාදය මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න මහත් ආශිර්වාදයක් වුණා කියලත් මං විශ්වාස කරනවා.
සටහන - අමරදාස සිල්වා
ඡායාරූප - රවි රසන්ත විතාරණ