(ඩයනා උදයංගනී)
පළාත් පාලන ඡන්ද විමසීමේ දී ඡන්දය භාවිතා කිරීම වෙනුවෙන් සේවකයින්ට හිමිවිය යුතු නිවාඩුව ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය හා පෞද්ගලික අංශවලින් ඉල්ලීමක් කරයි.
මෙසේ හිමි නිවාඩු ලබානොදෙන්නේ නම් එය නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
සේවා නියුක්තිකයකුට ඡන්දය ලබාදීම සඳහා දෙනු ලබන නිවාඩු කාලසීමාව සේවා ස්ථානය හා ඡන්ද පොළ අතර ඇති දුර ප‍්‍රමාණය අනුව සේවා යෝජකයා විසින් තීරණය කළ යුතු අතර මීට පෙර පැවති මැතිවරණවලදී තමන්ට හිමිවිය යුතු නිවාඩු ලැබී නැති බවට සේවකයින්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි ඔහු සඳහන් කරයි.
ඡන්දය දීමට ඇති අයිතියට ගරු කරමින් ඡන්ද හිමිකම ඇති සේවකයින්ට නීත්‍යානුකූලව හිමිවිය යුතු නිවාඩුව ලබාදෙන්නැයි තමන් සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා ප‍්‍රකාශ කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 වන අධිකාරිය) 84 (අ) වගන්තිය අනුව යම් තැනැත්තෙකු විසින් ඡන්දය ලබාදීම සඳහා නිවාඩු කාලයක් ඉල්ලා ලිඛිත ඉල්ලීමක් කළ විට පැය දෙකකට නොඅඩු කාලයක ප‍්‍රමාණවත් වැටුප් සහිත නිවාඩු ලබාදීමට සේවා යෝජකයින් කටයුතු කළ යුතු බව දක්වා ඇතැයිද සභාපතිවරයා කියා සිටියි.
පළාත් පාලන ඡන්ද විමසීම පෙබරවාරි මස 10 වැනි සෙනසුරාදා පෙරවරු 7'00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිතය.


