ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්


කොළඹදීය (රොයිටර්)

දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය අද (10) සෙනසුරාදා පැවැත්විණි. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකිකයෝ මිලියන 15කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා තිබූහ.
 
මෙවර පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතරේ තියුණු තරගයක් නිර්මාණය කළ අතර ජාතික ආණ්ඩුවේ අනාගත ප්‍රතිසංස්කරණවලටද තර්ජනයක් එල්ල කර තිබේ. 
 
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු 2015 වසරේ අගෝස්තු මාසයේ මහ මැතිවරණය පැවත්වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයයි. මෙවර ඡන්දය වත්මන් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මැන බලන්නක් යනුවෙන් ද හඳුන්වා දිය හැකිය. 
 
බලය බෙදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, 26 වසරක සිවිල් යුද්ධයේ අවසාන සමයේදී සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය දීම සහ පශ්චාත් යුද සංහිඳියා ක්‍රියාවලිය යනාදි පොරොන්දු රැසක් වත්මන් ආණ්ඩුව ජනතාවටත් ජාත්‍යන්තරයටත් ලබා දී තිබේ. 
 
කෙසේ නමුත් ආණ්ඩුව බොහෝමයක් පොරොන්දු ඉටු කිරීමට අසමත් වී සිටින අතර දූෂණ වංචා සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නැත. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් මධ්‍ය වාමාංශික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු මධ්‍ය දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වුවද මැතිවරණයට ඉදිරිපත් වූයේ වෙන වෙනමය. මැතිවරණ වේදිකාවේදී මෙම පක්ෂ දෙක එකිනෙකාගේ වැරැදි සහ අසමත්කම්වලට එකිනෙකාට චෝදනා එල්ල කරගත්හ. 
 
පසුගිය වසර තුනක කාලයේදී එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකය පාලනය කළ බවත් ඉදිරියේදී ආර්ථිකය පාලනය කිරීම තමන් යටතට ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ වේදිකාවකදී කීය. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය එක්සත් ජාතික පක්ෂයට දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී ඇතැයි ජනාධිපතිවරයා චෝදනා කළේය.
 
මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත සමීක්ෂණ වාර්තාවක් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් නොවූ අතර කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වැඩිවාසි අත්පත් කරගනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති. 
 
ඡායාරූප ඒ.එෆ්.පී
 
055