ඡන්දය ගන්න මත්පැන් බෙදලා


ඡන්දදායකයින්ට මත්ද්‍රව්‍ය සහ මත් පැන් බෙදාහරිමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ දැරීම පිළිබඳව පුත්තලම, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පැමිණිලි ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. 

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ  මෙම ක්‍රියාවලිය මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් පමණක් නොව සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් වන බවයි.

ආධාරකරුවන් සහ ඡන්දදායකයින් අතර මත්පැන් බෙදාදීම  එක් අතකින් සමාජ විරෝධි ක්‍රියාවක් බව ද,එමගින් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට සෘජු හා වක්‍ර බලපෑම් එල්ලවන බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. 

කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කොට ඇත.

මේ  අතර මහමැතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිට කැෆේ සංවිධානය වෙත  මේ වන විට වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 244 ක් වන අතර එයින් 224ක්ම මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් වෙයි. තවත්20ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානයේ මාධ්‍ය ඒකකය පවසයි.