ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ පනතේ ව්‍යවස්ථානුකූලබව විමසා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙන ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.

මහරගම නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නිශාන්ත විමලචන්ද්‍ර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපති නම් කරනු ලැබ ඇත.

එම පනත් කෙටුම්පත නිසියාකාරයෙන් සම්මතවූ නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයෙන් සම්මත කළ යුතු බවට ප්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මෙම මස 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.1980 අංක 44 දරණ මැතිවරණ පනතේ සඳහන් වගන්ති සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

එම පනත් කෙටුම්පතේ සඳහන් 1 , 2 ,3 ,4 ,5 ,6 ,7, 8 දරණ වගන්තින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3,4 ,12 (1) ,12 ,(2) ,78 (1) ,78 (2) දරණ ව්‍යවස්ථාවන්ට පටහැනි බවට තීන්දු කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා ඇත.