අග‍්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් ඇතුළුව මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගන්නා අපේක්‍ෂකයින් එම එක් වාහනයක් සඳහා මසකට රුපියල් ලක්‍ෂයක් රජයට ගෙවිය යුතු බව ඇමැති මණ්ඩලය තීරණය කරයි .
ඒ අනුව අග‍්‍රාමාත්‍ය, කථානායක, විපක්‍ෂනායක, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්, නියෝජ්‍ය කථානායකවරයා, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තනතුරට හිමි වරප‍්‍රසාදයක් ලෙස ලැබෙන වාහන සිය අපේක්‍ෂකත්වය ප‍්‍රවර්ධනය සඳහා යොදාගන්නේ නම් මෙම ගාස්තුව සිය අමාත්‍යාංශයට ගෙවිය යුතු බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය. ශ්‍රි ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වු මුල් වතාව මෙය වේ.
එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා නිල වාහන යොදා ගැනීමේ දී ඉන්ධන වියදම් ද ඔවුන් සිය පෞද්ගලික මුදලින් දැරිය යුතු බව අමාත්‍යවරයා කීවේය.
මැතිවරණ සඳහා ගුවන්යානා සහ හෙලිකොප්ටර් භාවිතා කරන්නේ නම් ඒ සඳහා වන වියදමද ඔවුන් පෞද්ගලිකව දැරිය යුතු අතර නිල වාහන සඳහා ගෙවිය යුතු ගාස්තු සිය අමාත්‍යාංශයට හෝ පළාත් සභාවටත් ගුවන්යානා සහ හෙලිකොප්ටර් සඳහා වන ගාස්තු අදාළ ආයතනයන්ටත් ගෙවිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
නිල වාහන භාවිතය පිළිබඳ සොයා බලා මෙම ගාස්තු අයකර ගැනීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පැවරෙන බව ද ඇමතිවරයා කීවේය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී තමන්ට රජයෙන් ලැබී ඇති නිල වාහන භාවිතා කරන අපේක්‍ෂකයින් සඳහා අමාත්‍යාංශවලට ගාස්තුවක් ගෙවිය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවකදී ඇතිවූ එකඟත්වය පරිදි අයකළ යුතු ගාස්තු පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණය කළ යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ යෝජනාවට අනුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී තිබේ.
හිටපු ජනාධිපතිවරයාටත් මෙම තීරණය වලංගුදැයි මෙහි දී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙම කැබිනට් තීරණය එතුමාට අදාළ නොවන බවයි.
ඒ පිළිබඳව මීළඟ කැබිනට් හමුවේදී මතුකිරීමට බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.




