(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයට අදාළව පෙළපාළි යා හැක්කේ අපේක්ෂකයා සමග ආධාරකරුවන් 10 දෙනකුට පමණක් බවත් එම ප‍්‍රමාණය ඉක්මවා යන්නේ නම් එය නීති විරෝධි පෙළපාළියක් ලෙස සලකා නීතිය ක්රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා අද(27) පැවසීය.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය, දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ පොලීසිය අතර ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බව ඔහු කියා සිටියේය.
ආගම් හෝ ජාතීන් අතර වෛරය වපුරන ප‍්‍රකාශ නිකුත් කරන අයට මැතිවරණ නීති වලට සහ දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව නීතිය ක්රියාත්මක කරන බවත් ඒ අනුව තරා තිරම නොබලා ඒ අය අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
එමෙන්ම පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීම් භූමිවලදී සහ අපේක්ෂකයන්ගේ වාහනයේ පමණක් බවත් ඔහු කීය.
ලියාපදිංචි නොවන වාහන සහ ගරාජ් නම්බර් සහිත වාහන මැතිවරණය සදහා යොදාගන්නේ නම් එම වාහන පොලිස් භාරයට ගන්නා ලෙස සියලූම පොලිස් ස්ථාන වලට දැනුම් දී ඇති බවත් කී ඒ මහතා මෙයට අමතරව කාන්තා අපේක්ෂකයන්ට හිරිහැර සිදුවනවානම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පොලිස්පති නියමයෙන් විශේෂ වැඩපිළිවලක් ක‍්‍රියාත්මක කෙරෙන බවද කීය.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධීක්ෂණය යටතේ එවැනි පැමිණිලි විමර්ශනය කරන අතර ඒ සම්බන්ධ පැමිණිලි වෙතොත් 011 30 24 884 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඉල්ලා සිටියේය.

