ගාල්ලේ කරාපිටියේ රජයේ ඉඩමක සෑදීමට ගිය හෙල්මුත්කෝල් මාතෘ හා ළමා රෝහලේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අද උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුකැරිණි. මේ අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැමිණෙන බව කලින් දන්වා තිබුණ ද ඔවුන් දෙදෙනාම පැමිණියේ නැත. රජයේ මුල්ගල්තැබීම්, විවෘතකිරීම් හා ව්‍යාපෘති ඇරඹීම්වලට අපේක්ෂකයන් සහභාගීවීමෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ චක්‍රෙල්ඛයක දැක්වේ. ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ අපේක්ෂකයන් මෙවැනි උත්සවවලට සහභාගී වීම වරදක් බවයි. එබැවින් ඔවුන් සහභාගී කරනොගන්නා ලෙස සංවිධායකයන්ට දැනුම් දුන් බවත් කොමසාරිස්වරයා කීවේය. අපේක්ෂකයන්ට කතා නොදෙන්නැයි රජයේ නිලධාරීන්ට උපදෙස් දී තිබූ බවත් එම අවස්ථාවේ කතාකිරීමට අවස්ථාවක් දී නැතැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
එම උත්සවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට උත්සවය පැවැත්වෙන භූමියට ඇතුළුවීමට අවසර ලැබුණේ නැත. පොලිසිය කීවේ මාධ්‍යයට ඇතුළුවන්නට ඉඩ නොදෙන්නැයි මැතිවරණ කොමසාරිස්ගේ නියෝගයක් තිබෙන බවයි. ඒ ගැන මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසූ විට කිවේ උත්සවයට ප්‍රචාරයක් ලබාදීමෙන් එක් පාර්ශවයකට වාසියක් සිදුවීමට ඉඩ ඇති බැවින් එවැනි උපදෙසක් දුන් බවයි.
මැතිවරණය පැවැත්වෙන කාලයේ දී පුද්ගලයන් 25 දෙනකුට වැඩි සංඛ්‍යාවක් සමග ගමන් කිරීම මැතිවරණ නීතියට අනුව වරදකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සිය ආධාරකරුවන් පිරිසක් සමග උත්සව භූමියේ සිට එළියට පැමිණෙද්දී ඔහුගේ ආධාරකරුවෝ ජයවේවා කියමින් කෑ ගැසූහ. මෙය කෙටි පෙළපාලියක සිරි ගත්තේය. වෛද්‍ය පතිරණ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක විජේපාල හෙට්ටිආරච්චි මහතාත් උත්සව භූමියෙන් එළියට පැමිණ මාධ්‍යයට අදහස් දැක්වූහ.
රෝහල ඉදිකිරීමට ජර්මනියේ චාන්සලර් හෙල්මුත් කොල් මහතා 2005 වර්ෂයේ දි රුපියල් කෝටි 3600 ට වැඩි මුදලක් හෙල්මුත් කෝල් පදනමේ පරිත්‍යාගයක් ලෙස එවකට පැවති රජයට ලබාදුන්නේය. ඉදිකිරීම් ආරම්භ කර එය අඩිතාලමට පමණක් සීමා වූ පසු 2012 අගෝස්තුවේ දී ජර්මන් බැංකුවකින් ණයක් ලෙස රුපියල් කෝටි 600 ක මුදලක් ලැබිණි. එසේ වුව ද යළි වැඩ ආරම්භ කිරීම පසුගිය රජය කාලයේ සිදුවූයේ නැත.







