ඡන්ද කොල්ලකෑවොත් වෙඩි තියන්න බලය


(ඉන්දිකා රාමනායක)
මෙවර පළාත් පාලන මැතිවරණ ඉතාමත් සාමකාමීව හා සාධාරණය පැවැත්වීමට අවශ්‍ය සියලු  ක්‍රියා මාර්ග ගෙන ඇති බවත්  ඡන්ද මධ්‍යස්ථාන වලට කඩා වැදී  ඡන්ද කොල්ල කෑම  ඇතුලු ප්‍රචණ්ඩ ක්‍රියා වල නිරත වන  පුද්ගලයින්ට   වෙඩි තැබීමට දණ්ඩ නීති සංග්‍රහයේ 93 හා 96 වගන්ති යටතේ පොලිස් නිලධාරීන්ට බලය දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. 
 
ඡන්දය දිනයේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකට  ආයුධ සන්නද්ධ පොලිස්  නිලධාරීන් දෙදෙනකු යෙදවීමට  කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ පොලිස් මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එසේම  ඡන්ද රාජකාරි වලට අදාල පොලිස් මුලස්ථානයෙන් ලබාදෙන  උපදෙස් ඇතුළත් පොතක් පොලිස් මුලස්ථානයෙන්  සියලුම පොලිස් ස්ථාන වෙත ලබාදීමට කටයුතු කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මෙම පොත භාෂා ත්‍රිත්වයෙන් ම ලබා  දීමට කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය. නිදහස්ව, සාමකාමීව, මැතිවරණයක් පැවැත්වීමට අරමුණින් මෙම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.