ඡන්ද කොමසාරිස්ට මල් : හම්බන්තොට උණුසුම්


මහ මැතිවරණයේ දින ළංවීමත් සමඟම හම්බන්තොට මැතිවරණ උණුසුම ද වැඩි වෙමින් පවතී.ප්‍රධාන ප්‍රචාරක රැලිවලට වඩා කුඩා ජනහමු  ගම්මට්ටමින් පැවැත්වීමට සටනට එක්වසිටින ප්‍රධාන පක්ෂ තුනම සැරසෙයි.

මෙවර   බැනර්, පෝසටර්, කටවුට් ප්‍රදර්ශණය  කිරීම ට අපේක්ෂකයින්ද සීමා කර ඇත්තේ ඒවා ඉවත් කිරීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසාය. ගම්මට්ටමින් මැතිවරණ කාර්යාල විවෘත කැරේ. ඡන්දය හරියට මෙහෙයවතියි බොහෝ දෙනෙක් ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ස්තූති කරති.

බොහෝ ගම්වල එකම ස්ථානයේ මුහුණට මුහුණලා ප්‍රතිපක්ෂයේ කාර්යාල විවෘත කර තිබීමද විශේෂත්වයකි.බොහෝවිට ප්‍රධාන පක්ෂ තුනේම කාර්යාල එකම ස්ථානයක පිහිටුවා ඇති අවස්ථා තිබේ. ඒවා අතර  සුළු ගැටුම් වාර්තා වූව ද බරපතල තත්ත්වයේ නොමැත.

හම්බන්තොට මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් තරඟයට එක්ව සිටියත්, මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරනු ලබන්නේ එකසත් ජනතා නිදහස් සන්ධානයත්. එකසත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් පමණි.

පසුගිය පාර්ලිමේන්තුවට හම්බන්තොටින් එ.ජ.නි.ස නියෝජනයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක්ද, එජාපයෙන් දෙදෙනෙක් ද තෝරාගනු ලැබූහ.

මෙවර එම මන්ත්‍රීවරු හත් දෙනා බෙදී යන ආකාරය සම්බන්දව මේවනවිට දේශපාලන වේදිකාවේ විවිධ මත පවතී.

සන්ධාන කණ්ඩායම් නායක චමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම කණ්ඩායමට  ආසන පහක් හිමිවන බවයි. එජාප නායක සජිත් පේමදාස මහතා රැස්වීම් වල දී කියා සිටින්නේ ද තම කණ්ඩායම ආසන පහක් ලබා ගන්නා බවයි.

ජවිපෙ සඳහන් කරන්නේ ද වැඩි ප්‍රමාණයක් මෙවර පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව පෙළ ගැසී සිටින බවයි.

කෙසේ වෙතත් හම්බන්තොට ජනතාවගේ පොදු මතය වී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ආසන හතරක් ද ,අනිකට ආසන දෙකක් ද, ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් හිමිවන බවයි.

ආසන හතර හිමිවන්නේ කවර පක්ෂයකටද කියා තවම තීරණය වී නොමැති බවද බොහෝ දෙනාගේ මතය වී තිබේ.

මැතිවරණ කොමසාරිස්තුමාගේ නීති රීති හරියට ක්‍රියාත්මක කිරීම ට අවශ්‍ය කටයුතු සිදුකරන බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ආර් .සී ද සොයිසා මහතා කීය.දේශ පාලන පක්ෂ අපේක්ෂකයින් මේවන විට දෙවරක් දැනුවත් කර ඇති අතර තවත් ඉදිරියේ දී දැනුවත් කරන බව ද කීය.