චොකා මල්ලී බේරන්නැයි ඩිඅයිජි කියලා


(අජිත්ලාල් ශාන්තඋදය)

කහවත්තේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් සැකකරුවකු ලෙස බී වාර්තාවේ පේ‍්‍රමලාල් ජයසේකර නියෝජ්‍ය ඇමැතිවරයාගේ නම නොතිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දුරකතයෙන් දැනුම් දුන් බව කහවත්ත පොලිස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක ලලිත් පුෂ්පකුමාර රාජමන්ත‍්‍රී මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ පැවසීය.

ජනාධිපතිවරණ සමයේ කහවත්ත නගරයේ පැවති ජනාධිපතිවරණ අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්විමක සැරසිලි කරමින් සිටියදී කළ වෙඩි තැබීමේ සිද්ධියේ නඩු විභාගයේ දී අද (11)  මෙසේ සාක්කි දුන්නේය.

රත්නපුර මහාධිකරණ බල සීමාවට අයත් කහවත්ත නගරයේ දී වර්ෂ 2015 ක් වු ජනවාරි මස 5 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයකුව සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ආධාර පිණිස රැස්වීමක් පැවැත්වීමට කහවත්ත නගරයේ කළ සැරසිලි කඩා දැමීම සහ තුවාල සිදුකිරිම අරමුණු කරගෙන නීතී විරෝධී රැස්වීමක සාමාජිකයන්ව, එම ක‍්‍රියා කලාපයේදී වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් හුසේන් ඉල්පාන් යන අයට වෙඩිතබා තුවාල සිදුකර මිනීමැරීමට තැත්කිරීම, බියවැද්දීම, දොඩංගොඩගේ සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ මරණය සිදුකිරීම ඇතුලූව අධිචෝදනා නවයක් විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබුණි. 

මෙසේ අධිචෝදනා ලබා තිබුණේ සබරගමු පළාත් සභාවේ වත්මන් මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයසිංහ, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා, වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හල්කඳලිය ලේකම්ලාගේ පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී, පැලවත්තගේ පැතුම් ධනංජය නොහොත් පැලා, උඩහදා සීලගේ අසංක නාමල් නොහොත් සාජන්ටූ, උක්කන්දගේ තිලංක ප‍්‍රදීප්, ඌරුපැලැව්වේ ගමඇතිරාළලාගේ අජිත් මලවි ගුණරත්න නොහොත් මලවි යන හත්දෙනාය.