චූලෝදර මහෝදරට එරෙහිව කැලණියේ දී යුද්ධ ප‍්‍රකාශ කරයි


”පිබිදෙන කැළණිය යැයි පවසමින් කැළණිය සංවර්ධනයට මුදල් එකතු කළා. නමුත් එයින් මොනවද කළේ. කැළණියේ ජනතාවට එක රැකියාවක් මර්වින් සිල්වා ලබා දුන්න ද? රජයෙන් ලැබුණු රක්‍ෂා ටිකට මොනවද වුණේ? ඒකත් විකුණන් කාලා. ඒකයි අපට තිබෙන ප‍්‍රශ්නය,” කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා එසේ පැවසීය. කැළණියේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් කැළණිය ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී අද දින පැවැත්විණි. කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතා ඇතුළු මන්ත‍්‍රීවරු 12 දෙනෙක් සහභාගි වූහ. ජයන්ත කබ්රාල්, තිලක් වීරසිංහ, පී. රෝහිත මන්ත‍්‍රීවරු සහභාගි නොවූහ. පෑලියගොඩ නගර සභාවේ නගරාධිපති නිහාල් ආනන්ද මහතා ඇතුළු නාගරික මන්ත‍්‍රීවරු පස් දෙනෙක් ද සහභාගි වූහ. සභාපති රණවීර මහතා මෙසේ ද පැවසීය. ‘‘කැළණිය සුරැකීමේ සටනට අපි ඉන්නවා. මෙතන බාර්කාරයන් බූරුකාරයන් කප්පම්කාරයන් නැහැ. මේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයයි ඉන්නේ.‘‘ කිරිබත්ගොඩ සති පොළ ටෙන්ඩර් කළා. ඒකටත් මර්වින් සිල්වා මහතා බලපෑම් කළා. අපි කප්පම්වලට විරුද්ධයි. මත්ද්‍රව්‍යවලට විරුද්ධයි. අපට අද මරණීය තර්ජන. ඒත් අපට ජනතාව ඉන්නවා. මා සල්ලි උපයන්නේ මගේ ව්‍යාපාරවලින්. නමුත් කප්පම් සල්ලි එකතු කරන අය ඉන්නවා. පිබිදෙන කැළණිය කියමින් මුදල් එකතු කරනවා. ඒවායින් කළේ මොකක් ද? කැළණියේ බාර් 40ක් තියෙනවා. ඒවායින් මාසෙකට රු. ලක්‍ෂ 4ක් ලැබෙනවා. අපේ පක්‍ෂයේ එක් කෙනෙකුට තහඩු 10ක් දී තිබෙනවාද? රජයෙන් ලැබුණු රක්‍ෂා ටිකට මොනවාද වුණේ? කාට ද දුන්නේ? අපට තිබෙන ප‍්‍රශ්නය ඒකයි. බොරුවයි වාචාලකමයි තවත් ඉවසන්න බැරි නිසයි මේ තීරණය ගත්තේ. උප සභාපති චමිල දුමින්ද, මන්ත‍්‍රීවරුන් වන හසිත මඩවල, චතුර ධනුෂ්ක, ලංකා විජිත කුමාර මහත්වරුන් ද පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද මහතා ද අදහස් දැක්වූහ.