චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 47 ක් මරුට


නැගෙනහිර චීනයේ යුන්චෙන් නුවර පිහිටි  රසායනික කර්මාන්ත ශාලාවක පිපිරීමකින් 47 දෙනෙක් මිය ගොස් ඇති බව ඒ. එෆ්. පී පුවත් සේවය වාර්තා කරයි.
 අනතුරින් පුද්ගලයන් 600 කට අධික පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු කර ඇත.

 
මෙම පිපිරීම මෑත වසරවලදී සිදු වූ දරුණු කාර්මික අනතුරුවලින් එකක් බවත්  චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ  නරක තත්ත්වයක් පෙන්නුම් කරන බවත් චීන බලධාරීහු පවසති.
 
විශාල පිපිරීමක් සමඟ කුඩා භූමිකම්පාවකට සමාන කම්පනයක් සිදු වී ඇති අතර කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වී ඇත.
 
 කර්මාන්තශාලාව ආසන්නයේ පිහිටි නිවාස කිහිපයකටද ජනෙල්වලට හානි සිදු වී ඇත.
 
 රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකි 03ක් පිපිරීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ඒ සමඟ ඇති වූ ගින්න නිවා දමා ඇත.
 
 ජීවිතාරක්ෂක භටයන් විශාල පිරිසක් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යොමුකර ඇති අතර 3,000කට අධික පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය සමත් වී ඇත.
 
 මෙම සිදුවීම සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන බව බලධාරීහු පවසති.  මෙම රසායනික කර්මාන්ත ශාලාව 2007 වසරේදී කම්කරුවන් 195 කින් ආරම්භ කර ඇත.
 
ඇනිසෝල් රසායනය ඇතුළු ඉහළ දැවෙන රසායනික සංයෝගයකින් යුතු  අමිශ්‍ර රසායනික ද්‍රව්‍ය  මෙම කර්මාන්තශාලාවේ නිපදවෙන ප්‍රධාන  නිෂ්පාදන  වේ.
 
 
(63226)