චීන සමාගමකට නීතීඥ සේවාව සැපයීම තහනම් කරමින් අතුරු තහනමක්


( තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ  )

ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් උල්ලංඝනය කරමින් සමාගම් ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇති චීන සමාගමකට  නීතීඥ සේවා සැපයීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය මෙසේ අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබුවේ නීතීඥවරයෙකු අදාළ චීන සමාගමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට අවසර ලබා දෙමිනි.

මෙම අතුරු නියෝගය අදාළ පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු නිකුත් කරන ලැබ ඇත.මෙම පෙත්සම අගෝස්තු 24 වැනි දින විභාගයට ගැනීමට දින නියම කරනු ලැබ ඇත.

පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , එල්.ටී.බී .දෙහිදෙණිය සහ එස්.තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

නීතීඥ නයන්ත විජේසුන්දර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට සමාගම් රෙජිස්ටාර් සහ බාර්කුයින් ලෝ ගෲප් පෞද්ගලික සමාගම නම් කරනු ලැබ ඇත.

සාමාන්‍යයෙන් නීතීඥ සේවාව ලබා දෙනු ලබන්නේ වෘත්තීය නීතීඥවරයෙක් විසිනි.එය වෘත්තීය ගණයට වැටෙන උතුම් සේවාවකි.නීතීඥවරයා සිය සේවාදායකයා වෙනුවෙන් සියලූ වගකීම් දරයි. සමාගම් ආඥා පනත යටතේ ලියාපදිංචි වූ නීතීඥ සේවාවක වගකීම් සහිත වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් අදාළ වනුයේ වෘත්තීය නීතීඥවරයෙකුට පමණි.ඒ අනුව වෘත්තීය නීතීඥවරයෙකුට සිය සේවාවන් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප‍්‍රචාරය කිරීම තහනම් වේ. එබැවින් එම සමාගමට සිය සේවාවන් පිළිබඳව මාධ්‍ය ප‍්‍රචාර කළ හැකිය.එහෙත් වගඋත්තරකාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන් මඟින් නියාමනය නොවේ.

මෙම තත්ත්වය යටතේ  මෙරට තූල නීති සේවා සැපයීම සඳහා චීන සමාගමක් ලියාපදිංචි කිරීමට සමාගම් රෙජිස්ට‍්‍රාර්වරයා ගෙන ඇති තීරණයෙන් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වේ.


එැබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , වගඋත්තරකාර සමාගම නීතීඥ සේවාවන් ලබා දීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද සිය පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර  නීතීඥ නයන්ත විජේසුන්දර මහතා තමා වෙනුවෙන්ම පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා පෙනී සිටියේය.