චීන දුම්රිය මැදිරි වලින් ඩිස්ක් බ්‍රේක් ඉවතට


 

(රේඛා තරංගනී ෆොන්සේකා)


චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරිවල තිබූ රෝදවල සම්බන්ධක දණ්ඩට (ඇක්සලයට) සවිකර තිබූ තිරිංග (‘ඩිස්ක් බ්‍රේක්’) ඉවත් කර ඒ වෙනුවට මැදිරියේ රෝද වලට සෘජුවම තෙරපුම ඇති කරන තිරිංග පද්ධති (බ්‍රේක් ලයිනර්) සවිකිරීමට තීරණය කර තිබේ.

චීන මැදිරි වලින් ‘ඩිස්ක් බ්‍රේක්’ ඉවත් කර ‘බ්‍රේක් ලයිනර්’ සවිකිරීමේ කාර්යය නියමු ව්‍යාපෘතියක් ලෙසින් රත්මලාන දුම්රිය කාර්මික වැඩපොළට බාර දී තිබේ. 


චීන දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය ඉතාමත් දුර්වල තත්ත්වයක පැවතීමෙන් චීන දුම්රිය මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියැදුරෝ පසුගියදා තීරණය කළහ. 

 

පැරණි දුම්රියන්වල  තිරිංග පද්ධතිය ඍජුවම රෝද වලට සම්බන්ධ වන ආකාරයට සැකසී තිබුණ ද චීන දුම්රියන්වල ඇක්සලය වෙතට සම්බන්ධ වූ තැටියකට බ්රේක් සැකසී තිබීම දක්නට ලැබෙන බව ඒ මහතා පැවසීය.

 

ඒ අනුව රියදුරු දුම්රිය රියැදුරන්ගේ ඉල්ලීමට අනුව මෙම තිරිංග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කිරීමට ඇරඹි බව ඒ මහතා පැවැසීය.

තිරිංග මැදිරි 19 ක් ඇතුළුව මැදිරි සීයක් ප්‍රතිනිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ඒ මහතා  මුලික පියවර ලෙස රෝදවලට බ්රේක් සම්බන්ධ කිරීම සිදු කරමින් සාමාන්‍ය රුමේනියානු මැදිරියක් දුම්රිය අංගනයේ සැකසූ බව පැවසීය.

එය සාර්ථක වූ හෙයින් මෙම චීන මැදිරි ද පැරණි තිරිංග ක්‍රම වේදයට සැකසීම ඇරඹි බව පැවසීය.

පසුගිය කාලයේදී රුමේනියානු මැදිරි වායු තිරිංග මැදිරි ලෙස පරිවර්තනය කරමින් දුම්රියන් වෙත තාවකාලික යෙදවීම සිදු කළ බවත් ඔහු පැවසීය.

චීන මැදිරිවල තිරිංග පද්ධතියේ මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් අප විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ එම දුම්රිය මැදිරි ධාවනයේ දී විශාල අවස්ථා ගණනාවක දී දෙකඩ වීම් වැනි විවිධ ගැටළු මතු වූ බවයි.

 එවැනි අවස්ථාවන් හිදී දුම්රිය නීති රෙගුලාසිවලට අනුව දුම්රිය රියදුරන්ට විවිධ චෝදනා ගොනුකර අලාභය අයකර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කළ බව පැවසීය.

පැයට කිලෝමීටර් 120 කින් ධාවනය කරන්නට ලංකාවට රැගෙන ආ මෙම චීන දුම්රිය මැදිරි නඩත්තු කිරීමට ඉහළ තත්වයෙන්  සිදුකළ යුතු බව ඒ මහතා පැවසීය.

සාමාන්‍යයෙන් පැරණි දුම්රිය මැදිරි වසර ගණනාවකට පසු නඩත්තු කිරීම සිදු වුවත් චීන මැදිරි ඉතා ඉහළ නඩත්තුව ලක් විය යුතු තත්වයක් පවතින බව ඒ මහතා කීවේය.

චීන මැදිරි ඉහළ කඳුකර මාර්ගයේ ධාවනයට එක්  කලත් තිරිංග පද්ධතියේ දුර්වලතාවයන් දක්නට ලැබුණු බව සඳහන් කළ ඒ මහතා කෙසේ වුවද මෙකී දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය නිසියාකාරයෙන් සැකසීමේ අත්‍යාවශ්‍යතාවක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.