
( තිළිණි ද සිල්වා )
මෙරට සිටින චීන සහ ඇමෙරිකා තානාපතිවරුන් දෙපළ නව රජයේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව චීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති හූ වෙයි මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත.
මීට අමතරව එක්සත් ජනපද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ද විදේශ සබඳතා අමාත්‍යවරයා හමුවූ අතර ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණුකර ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
විදේශ අමාත්‍යවරයා හමුවීමට පෙර ඇමෙරිකානු තානාපතිවරිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අතර එයිදී දෙරට අතර පවතින ද්වීපාර්ශීය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට ඇමෙරිකාව උනන්දුවන බව තානාපතිවරියා අගමැතිවරයාට දැන්වීය.
"අද්විතීය ප්‍රතිඵලයක් ලද අති සාර්ථක ව්‍යාපාරයක්" ලෙසට ටෙප්ලිට්ස් මහත්මිය විසින් හඳුන්වන්නට යෙදුන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන්ද ඇය අග්‍රාමාත්‍යවරයාට එහිදී සුභ පතා තිබේ.
නිදහස්, සාධාරණ හා සාමකාමී වාතාවරණයක් තුළ මැතිවරණය පවත්වන ලද බවට සඳහන් කරමින් ඇය පවසා සිටියේ "පසුගිය පරිපාලනයේ ප්‍රතික්ෂේප වීමක්" මෙවර ප්‍රතිඵලයෙන් දැකගත හැකි බවත්ය. එසේම නව රජය සමඟ වැඩ කිරීමට අපේක්ෂාවෙන් පසු වෙනවා" තානාපතිනිය අග්‍රාමාත්‍යවරයා වෙත පවසා ඇත.



