චැනල් 4 ලංකාවේ හොඳක් පෙන්වයි


ලොව පුරා තරගකාරී සිනමා උළෙල වලදී ගෞරව සම්මානයට පාත්‍ර වූ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ " ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාව මැයි 7 වැනි බදාදා රාත්‍රීයෙදී විකාශනය කළේය.

මීට පෙර මෙම චිත්‍රපටය ලන්ඩන් සිනමා උළෙලේදීද ප්‍රදර්ශනය විය. එහිදී එය හඳුන්වා දී තිබුනේ" නියත වශයෙන්ම ප්‍රසන්න විතානගේ මෙතෙක් නිර්මාණය කරන ලද හොඳම චිත්‍රපටය" වශයෙනි.

චැනල් 4 ප්‍රවෘත්තියේ අංශය ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව අසුභවාදී මෙන්ම පක්ෂග්‍රාහී වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කරන ආයතනයක් ලෙසිනි.

මේ නිසාම බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික පිරිස් කිහිපවතාවක්ම චැනල් 4 ලන්ඩන් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත් වුහ. 

කෙසේවුවද " ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය ප්‍රදර්ශනය කැරුණේ චැනල් 4 මුලික වැඩසටහන් අංශය විසිනි. මීට පෙර අමරනාත් ජයතිලකගේ " අරුණට පෙර" ප්‍රසන්න විතානගේ ගේ " ඉර මැදියම" සහ වෙනත් සම්භාව්‍ය සිංහල චිත්‍රපට කිහිපයක්ම චැනල් 4 විසින් ආසියාවේ උසස් සිනමා නිර්මාණ ඉදිරිපත් කිරීමේ වැඩ සටහන් මාලාවක් යටතේ ප්‍රදර්ශනය කරනු ලැබීය.

සිංහල චිත්‍රපට බ්‍රිතාන්‍ය රුපවාහිනි නාලිකාවන්හි ප්‍රදර්ශනය කිරීම  පිළිබඳව ලන්ඩනයේ සිනමා විචාරකයෙකු සමඟ කතා බස් කිරීමේදී ඔහු පැවසුවේ මෙවැනි අදහසකි.

" මෙම චිත්‍රපට ඔවුන් විකාශනය කරන්නේ එම පිටපත් වල ප්‍රදර්ශන අයිතිය සඳහා නිර්දේශිත මිලක් චිත්‍රපට නිෂ්පාදක වරයාට හෝ බෙදා හරිනු ලබන සමාගමට ගෙවීමෙන් පසුවයි.

මේ නිසා එම විකාශනය එක අතකට සුළුවෙන් හෝ සිංහල සිනමාවේ උන්නතිය සඳහා කිසියම් උපකාරයක් වන්නටද ඉඩ ඇති බව කිව හැකියි. සිංහල සිනමාව පවත්වා ගෙන යාම උදෙසා ශ්‍රී ලංකාවේ සීමිත ප්‍රේක්ෂක පිරිසක් ගැන පමණක් නොසිතා ජාත්‍යන්තර වෙළඳ පොළට ගෙනයාමට හැකි අන්දමේ චිත්‍රපට නිර්මාණය කිරීම වර්තමානයේ ඇති වැදගත්ම කරුණක් බව වටහාගත යුතුයි. ඊයේ වියට්නාමයේදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "සිරි ගෞතම" සිනමා කෘතියට ලැබුණු පිළිගැනීම මෙයට හොඳම උදාහරණයක්.

මීට කලින් ප්‍රසන්න විතානගේ නිෂ්පාදනයකළ උබර්ටෝ පැසලීනි අධ්‍යක්ෂණය කළ " මචන්" චිත්‍රපටය මුළු ලෝකයේම බෙදා හරිනු ලැබුවා. සිංහල නළු නිළියන් රගපාන ශ්‍රී ලංකාවේදී සිංහල බසින් නිෂ්පාදිත එම චිත්‍රපටය ඉතාම ජනප්‍රිය වුවා.

ඉන්දියානු සිනමාව දැනට ලෝක වෙළඳ පොළ ජයගෙන ඉවරයි. ශ්‍රී ලංකාවේ සිනමා කරුවන්ද මේ සම්බන්ධයෙන් සලකා බලා ඔවුන්ගේ නිර්මාණ අඩුම වශයෙන් ඉන්දියාව හෝ වෙනත් ආසියානු රටවලට හෝ බෙදා හැරීමට හැකි අන්දමට නිර්මාණය කිරීම වැදගත් වන බව කිවයුතුයි. මෙහිදේ " සිරි ගෞතම" චිත්‍රපටය නිෂ්පාදනය කලාවගේ ජාත්‍යන්තර සමාගම් සමඟ එක්වී හවුල් නිෂ්පාදන සඳහා යොමුවීමත් හොඳ දෙයක් ලෙසටයි කිව හැක්කේ "