චමින්ද්‍රාණිගේ පැමිණිල්ලට ’’කෝප්’’ වරප්‍රසාද කමිටුවට


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ  චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මියට  කෝප්  කමිටුවේ විමර්ශනයකදී අගතියක් සහ අපහාසයක් සිදු වී යැයි සඳහන්  වරප්‍රසාද ප්‍රශ්නය විභාග කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවට යොමු   කිරීමට තීරණය කර ඇත.

මේ අනුව මේ කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමට  කෝප් කමිටුවේ සාමාජිකයන් ඉදිරි දිනවල එම කමිටුව හමුවට කැඳවෙනු ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙසේ පැවසීය.

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ  චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය 2025 ජුලි 22 ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නය යටතේ පාර්ලිමේන්තුවේදී මතුකළ කරුණු  ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට  ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය.

මහනුවර හන්තානවත්තේ  අක්කර හතළිස් තුනක ඉඩමක් නීති විරෝධීව පවරාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  වැරදි තොරතුරක් සාකච්ඡා කිරීම සහ  එම කරුණු මාධ්‍යවල ප්‍රචාරය වීමෙන් තමාට අපහාසයක් සිදුවී යැයි  මන්ත්‍රීනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කරමින් ප්‍රකාශ කළාය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද ඇය ප්‍රකාශ කළාය.