චම්පිකගේ යෝජනාවට ඇමැති ජයවික්‍රමගේ සහාය


අජන්ත කුමාර අගලකඩ
 
ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති කරුණු 45කින් යුත් යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන්නැයි බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පැවැති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.

 
ආණ්ඩුව ඉදිරි මාස 18 තුළ ක්‍රියාත්මක කළ යුතු යෝජනා 45ක් ඇතුළත් කැබිනට් සංදේශයක් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කර තිබිණි.
 
එම කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ අදහස් දක්වා ඇති ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා අදාළ යොජනාවලිය වහා ක්‍රියාවට නැංවිය යුතු බව පවසා ඇත.
 
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතා ද යෝජනාවලිය සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් මෙය ජාතික ආර්ථික සභාවේ මධ්‍යකාලීන වැඩපිළිවෙළක් ලෙස සාකච්ඡා කිරීමට ගන්නැයි මුදල් අමාත්‍යංශයට උපදෙස් දී ඇත.