චන්දිමාල්ගේ ස්ථානය මැතිව්ස්ට


සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (03 වැනිදා) කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 75 කින් ජය ලබා 1-0 ක් ලෙස පෙරමුණේ පසු වෙයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා අනාගත ක‍්‍රිකට් බලාපොරොත්තුව ලෙස සැලකෙන යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල්ට ස්ථානය අහිමි වීම කැපී පෙනේ. ආබාධයකට ලක්ව පළමු ටෙස්ට් තරගයට සහභාගි නොවූ ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවකු ලෙස දෙවැනි තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතය. වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙළගෙදර ආබාධයකට ලක්වීම නිසා ධම්මික ප‍්‍රසාද් මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. පී. සරවනමුතත් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (02) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසුවේ පළමු තරගය ජය ලැබීමත් සමග කණ්ඩායමේ විශ්වාසය වැඩි වූ බවත් තරගාවලිය ජය ලැබීම තම බලාපොරොත්තුව බවයි. ආබාධයට ලක්ව සිට නැවත කණ්ඩායමට පැමිණෙන ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳව කළ විමසුමකදී ශ්‍රී ලංකා පිලේ නායකයා මෙසේ පැවසීය. ‘‘ඔහු (මැතිව්ස්) කණ්ඩායමට ඇතුළත්  වන්නේ පිතිකරුවකු හැටියටයි. ඔහු මේ වන විට සම්පූර්ණ සුවය ලබා සිටිනවා. ඉදිරි දින දෙක තුන තුළ ඔහුගේ ශාරීරික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරලා පන්දු යවන්නත් බලාපොරොත්තු වෙනවා’’ මහේල පවසන්නේ සරවනමුත්තු තණතිල්ල වේග පන්දු යවන්නන්ට යෝග්‍ය යැයි පිළිගැනීමක් තිබෙන නිසා වේග පන්දු යවන්නන් දෙපළට විශාල අභියෝගයක් ඇති බවත් දඟ පන්දු යවන්නන්ට ද එම තණතිල්ල උදව් විය හැකි බවයි. වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටුවට් බ්‍රෝඞ් ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට ස්ටීව් ෆින් ක‍්‍රීඩා කිරීමට නියමිතය. එංගලන්ත නායක ඇන්ඩෲ ස්ට්‍රෝස් පවසන්නේ සියලූම තරග වැදගත් බවත් දෙවැනි තරගය ජය ලැබීමට සුදානමින් සිටින බවයි. ‘‘ශ්‍රී ලංකා දඟ පන්දු යැවිමේ අංශය වඩාත් ශක්තිමත්. එයට මුහුණ දීමට අපේ පිතිකරුවෝ සූදානමින් ඉන්නේ’’ යැයි එංගලන්ත නායකයා වැඩි දුරටත් පැවසීය. ශී‍්‍ර ලංකා සංචිතය: තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරාජ් රන්දිව්, රංගන හේරත්, සුරංග ලක්මාල්, ශාමින්ද එරංග, ඇන්ජලෝ මැතිව්ස්, තරංග පරණවිතාන සහ ධම්මික ප‍්‍රසාද් සංචාරක එංගලන්ත කණ්ඩායම ඇන්ඩෲ ස්ට්‍රෝස් (නායක), ඇලිස්ටෙයාර් කුක්, ජේම්ස් ඇන්ඩසන්, ඉයන් බෙල්, කෙවින් පීටර්සන්, මැතිව් ප‍්‍රයර්, ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර්, ස්ටුවර්ට් බ්‍රෝඞ්, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල්, ජොනතන් ට්‍රොට්, රවී බොපාරා, ටිම් බ්‍රෙස්නන්, ස්ටීව් ඬේවිස්, ස්ටීව් ෆින් සහ සමිත් පතෙල්