චන්ද්‍රිකා හිටි ගමන් රට යයි : පෝද්දලයි සුනන්දයි ලංකාවට


කලක් අත්තනගල්ලේ බල පරාක්‍රමයෙන් මුළු ගම්පහම හොල්ලාගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ විරෝධය නොතකා  බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංගට නාමයෝජනා ලබා දීමට සන්ධානය ගත් තීරණයක් අනුව ඔහු අද (10) මහවැලි කේන්ද්‍රයේ දී නාමයෝජනා අත්සන් කළේය.

ඔහුගේ සහෝදරයන් දෙදෙනකු වන හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග සහ රුවන් රණතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය. මෙවර ඔවුහු දෙදෙනාම සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙති. ප්‍රසන්න රණතුංග ද ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වදින්නේ නම් රණතුංග පවුලේ තිදෙනෙක් එකම දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බැවින් එය ගැටළුවක් බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මියගේ මතය විය.

එහෙයින් ඔහුට නාමයෝජනා නොදෙන්නැයි හිටපු ජනපතිනිය ඉල්ලීමක් කර තිබිණි.

‘මහින්ද සමඟ නැගිටිමු‘ ජනරැලි මාලාවේ ප්‍රධාන සංවිධායකයෙක් වූයේ ප්‍රසන්න රණතුංගය. මිනුවන්ගොඩින් එම රැලිවලට විශාල පිරිසක් ගියහ. මේ නිසා ප්‍රසන්න රණතුංගට නාමයෝජනා නොලැබේ නම් වෙනම පිලකින් ඉදිරිපත් විය යුතු බව මහින්ද පාර්ශ්වයේ මතය විය.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත සන්ධාන මහලේකම්ගේ මැදිහත්වීමෙන් රණතුංග මහතාට නාමයෝජනා හිමි විය.

හිටපු ජනපති රාජපක්ෂ මහතා ද සුබ මොහොතින් නාමයෝජනා අත්සන් කළේය. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහාය. අගමැති අපේක්ෂක කම හා කණ්ඩායම් නායක කම හිටපු ජනපතිට නොලැබෙන බව සිරිසේන ජනපතිට හිතවත් ආරංචි කියයි.

ඔහුට නාමයෝජනා ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති එකඟ වීමත් සමඟ මහ මැතිවරණයේ දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ දෙනෙක් කළබල වූහ.

මහ ඇමැති ප්‍රසන්නගේ ගෙදර පැවැති සාදයකට සහභාගී වූ හිටපු ජනපති මහින්ද පසුගිය දා ‘හම්බෙන්න ඕනෑ අය හමුවෙලා එන්නම්කෝ‘ යැයි කියා කතානායක චමල් රාජපක්ෂගේ නිල නිවසේ දී ජනපති මෛත්‍රී හමු වූ බවට මාධ්‍ය පළ කළ වාර්තා ජනපති හා හිටපු ජනපතිගේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කළත් මෛත්‍රී-මහින්ද හමුව සත්‍යයක් බව තතු දත්තෝ දැන් කියති.

දෙදෙනාගේම මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ වූයේ කතානායක නිල නිවසේ දී එවැනි හමුවක් සිදු නොවූ බවයි. නමුත් ඔවුන් දෙදෙනා හමු වී තිබුණේ වෙනම ස්ථානයක දී ය. ඊට වෙනත් කිසිවෙකු සහභාගී වී නැත.

‘මහින්ද යනු පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීගේ ප්‍රතිමල්ලවයා. ඔහු සහ ඔහුගේ පිරිස පරාජය කරන්නයි අපි මෛත්‍රී බලයට ගෙනාවේ. ඒ මෛත්‍රීටයි මහින්දටයි හොර සාකච්ඡා තියන්න බෑ.   ජනාධිපතිතුමා මහින්දව හොරෙන් හමුවුණේ ඇයිදැයි මා ඇසූ විට ජනපති සිරිසේන කිව්වා වෙනත් පිරිස් එන නිසා තනිවම සාකච්ඡා කරන්න හමුවුණා කියා. මා ජනපතිට කිව්වා ඕකට හෙරෙන් හමුවෙන්න ඕන නැහැනේ. හමුවෙන්න ඕනෑනම් තනියම ජනපති මැදුරට එන ලෙස දැනුම් දෙන්න තිබුණු බව කිව්වා. හමුවෙලා මාධ්‍යයට කියන්න තිබුණා අපි තනියම හමුවෙලා සාකච්ඡා කළ බව. ඕක රහස් සාකච්ඡාවක් කරගන්න  ඕන නැහැනේ.‘ යැයි ප්‍රසිද්ධ දේශනයක දී කීවේ මෛත්‍රී බලයට ගෙන ඒම සඳහා දිවා රෑ ගම් දනව් ගොස් සම්මන්ත්‍රණ පැවැත්වූ ගාමිණී වියන්ගොඩය.

මෛත්‍රී බලයට පැමිණි පසු මෛත්‍රී හා මහින්ද අතර හමු තුනක් පැවැත්විණි.

මෛත්‍රී පසුගිය දිනක ඔහුට සහාය දුන් සිවිල් සංවිධාන නියෝජිතයෝ කිහිප දෙනෙක් මුණ ගැහුණහ. ජනවාරි අට වැනි දා ජන අභිලාශය කිසි ලෙසකින්වත් නැවත හැරවීමට ඉඩ නොදෙන බව ජනපති කී බව කියන එම නියෝජිතයෝ එතැන සාකච්ඡා වූ වෙනත් කිසිවක් පිටතට නොදෙති.

මහින්දට නාමයෝජනා දීම ගැන හිටපු ජනපතිනිය හා ජනපති අතර පසුගිය දිනෙක ජනපතිනියගේ කොළඹ නිවසක දී සාකච්ඡාවක් පැවැත්විණි.  එම සාකච්ඡාවෙන් පසු මෛත්‍රී සමඟ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට හා පිරිස ද හිටපු ජනපතිනිය සමඟ සාකච්ඡා කළහ.

කෙසේ වෙතත් කුමාරතුංග හිටපු ජනපතිනිය බ්‍රහස්පතින්දා (09) රටින් පිටවී ගියාය. ඇගේ ලේකම් පියසේන දිසානායක කියනුයේ හිටපු ජනපතිනිය රටින් පිටවූයේ පෞද්ගලික කාරණයකට බවයි. ඇය ලංකාවට පැමිණි විගස ඇගේ ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි ඔහු කියයි. එහි තේරුම දැන් ඇයට වෙනත් ස්ථාවරයක් - මෛත්‍රීට එරෙහි ස්ථාවරයක් ගන්නා බව විය නොහැකිදැයි තැන තැන කතා කරති.   ලංකා ඊනිවුස් වෙබ් අඩවිය කියනුයේ චන්ද්‍රිකා රටින් පිටවූයේ මහින්දට නාමයෝජනා ලබා දීම ගැන මෛත්‍රීට විරෝධය පළකරමින් බවයි.

මෛත්‍රී බලයට ගෙන ඒමට උදව් උපකාර කර සියලු බලවේග දැන් මෛත්‍රීට හා මහින්දට විරෝධය පා මාධ්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ හා රැලි පැවැත්වීම ආරම්භ කර ඇත. එවැනි සම්මන්ත්‍රණයක් බ්‍රහස්පතින්දා (10) සවස 3.30ට ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්විණි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් වැඩසටහන මෙහෙයවූ අතර පළාත් සභා මන්ත්‍රීන් වන මනෝ ගනේෂන්, මුජුබර් රහුමාන් මහත්වරු ද, මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය සහ චමීර පෙරේරා දේශන පැවැත්වූහ.

එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බැස ආ මෛත්‍රී වෙනුවෙන් කතා කළ මේ පිරිස අද මෛත්‍රී දැඩි ලෙස විවේචනය කළහ.

‘දේශපාලනඥයන් කියන අය විශ්වාස කරන්න බැහැ. ඔබ දුක් වෙන්න එපා. ඒ ඔවුන්ගේ හැටි.‘ යැයි වියන්ගොඩ කීවේ මෛත්‍රී මහින්දට නාමයෝජනා දුන්නේ  යැයි දෙගිඩියාවෙන් සිටින පිරිස අමතමිනි.

එදා මෛත්‍රීට උදව් කළ පිරිස් අද කියනුයේ මෛත්‍රී ජනවරම පාවා දුන් බවයි.

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පැතිර ගිය ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ නාමයෝජනා නුදුන්හ. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසි භාවය ඇති අයට මහ මැතිවරණයට තරඟ කළ නොහැකිය. බැසිල් සහ ගෝඨා යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකාවේ ද පුරවැසියෝය. ඔවුන් දෙදෙනා සිය ඇමෙරිකා පුරවැසි භාවය අත් හැරීමට අකමැති වූ නිසා නාමයෝජනා නොලැබුණු බව දැනගන්නට තිබේ.

මහින්ද රාජපක්ෂ වසර දෙකක් තිබිය දී පසුගිය ජනපතිවරණය කැඳෙව්වේ බැසිල් හා ගෝඨාභයගේ කීමට බව සන්ධාන නියෝජිතයෝ එකල කීහ. ඇමැති මර්වින් සිල්වා පසුගිය දා කීවේ මහින්ද  නැති කළේ මේ දෙදෙනා බවයි. මහින්ද ඔවුන් දෙදෙනාගේ ලණු කෑ බව මර්වින් කීවේය.

සරණ ගුණවර්ධන, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා සහ සජින් වාස් යන හිටපු මන්ත්‍රීන්ට නාමයෝජනා ලබා නොදීමට ගත් තීරණයේ තවම වෙනසක් වී නැත. සජින් වාස් කියා තිබුණේ තමා ගාල්ලට ස්වාධීනව තරඟ කරන බවයි. සරණ ගුණවර්ධන වෙනුවට ඔහුගේ බිරියට නාමයෝජනා දීමට යතියි ද සන්ධාන ආරංචි සඳහන් කරයි.

දුමින්ද, සරණ සහ සජින්ට එරෙහිව නඩු තිබුණත් මර්වින්ට එරෙහිව නඩු නැත. එකළ මර්වින් මාධ්‍යවේදීන්ට සැලකූ ආකාරය නිසා ඔහු වෙනුවෙන් මාධ්‍යවේදීහු කතා කිරීමට ඉදිරිපත් නොවෙති.

මර්වින් සිල්වා රූපවාහිනී සංස්ථාවට කඩ වැදුණැයි කියන සිද්ධියට විරෝධය පළ කිරීමෙන් පසු මැර ප්‍රහාරයට ලක්වී රටින් පළා ගිය පෝද්දල ජයන්ත පසුගිය දා ලංකාවට ආවේය. සුනන්ද දේශප්‍රිය ද ලංකාවට ආවේය. බ්‍රහස්පතින්දා (09) මහින්දට නාමයෝජනා ලබා දීමට එරෙහිව පැවැති සම්මන්ත්‍රණයට පැමිණි සුනන්ද දේශප්‍රිය සුපුරුදු පරිදි එහි ඡායාරූප ගන්නා ආකාරය දක්නට ලැබිණි. එදා රාජපක්ෂ රජයේ මර්දනය නිසා රටින් පැන ගිය ශාන්ත විජේසූරිය මාධ්‍යවේදියා ද දැන් සිටිනුයේ ලංකාවේය.