ගෝඨාට එරෙහි අධිචෝදනා සංශෝධනයට එකඟතාවක්


(තිලිණි ද සිල්වා)
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ත‍්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධිචෝදනා පත‍්‍රය සංශෝධනය කිරීමට නීතිපතිවරයා අද ( 26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.
 

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා මෙම එකඟත්වය පළ කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කළ අභියාචන පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.
 
මෙම අභියාචන පෙත්සම බුවනෙක අළුවිහාරේ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රීතී පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9  මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරිණි.

එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු  මූලික විරෝධතාවක් මතුකළහ. එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප‍්‍රතික්ෂේප කෙරිණි. එම විරෝධතාව ප‍්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය ඉවත දමා අදාළ  ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට තමාට එරෙහිව නඩුව විභාගයට ගැනීමට අධිකරණ බලයක් නැතැයි නියෝග කරන්නැයි මෙම අභියාචන පෙත්සම මඟින් ඉල්ලා ඇත.