රන්ජන් කටුගම්පොළ සහ මනෝප‍්‍රිය ගුණසේකර
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ පරීක්‍ෂණ පැවැත්වීමෙන් සහ ඉදිරි අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය ලබන පෙබරවාරී 15 වැනි දා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (25) අතුරු තහනම් නියෝගය දීර්ඝ කළේය.
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශන සැළකිල්ලට ගැනීමෙන් පසුව තිබු අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගොනුකර තිබු පෙත්සම විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.
මිරිහාන පැඟිරිවත්ත පාරේ පදිංචි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා ඇතුලු පස් දෙනෙකු නම් කොට ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ දී කැඳවනු ලැබු අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙහි පෙත්සම්කරු සඳහන් කරන සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය ඉදිරිපත් කොට ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී බවත් මේ වන විට එහි කාලය පිරී ඇතැයිද පැවසීය.

