ගෝඨාගේ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ජුලි 26 දා


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ගාලූ වරායේ නවතා තිබූ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර ඇති ප‍්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ජූලි 26 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ට්ගාඩ් සමාගමට අවසර දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමන්ට එරෙහිව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ප‍්‍රතිශෝධන ගොනු කර තිබේ.

එතෙක් මෙම සිද්ධිය පිළිබඳ මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගැනීම වළකාලමින් දැනට නිකුත් කර ඇති අතුරු නියෝගය ලබන ජූලි 27 දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කෙරිණි.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (14) කැඳවූ අතර පෙත්සම් විභාගය අවසන් කරමින් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම මෙදිනට කල් තැබීමට අධිකරණය තීන්දු කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් කියා සිටින්නේ නඩුව පවරා ඇති ආකාරය නීතිවිරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප‍්‍රතික්ෂේප කිරීමට මහේස්ත‍්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.

කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප‍්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියි.

මේ හේතුවෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප‍්‍රකාශ කොට ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද අදාළ නඩු විභාගය මෙම පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , මූලික විරෝධතාවය ප‍්‍රතික්ෂේප කිරීම ගත් තීරණය අහෝසි කර එය පිළිගැනීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා ඇත.