ගෝඨාගේ අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 27 වැනි දා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම  සළකා බැලීම ලබන නොවැම්බර් 27  වැනි දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදී.
 
මෙම පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීම හේතුවෙන් අධිකරණය පෙත්සම් විභාගය මෙදිනට කල් තබන ලදී.
 
මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
විනිසුරු මුර්දු ප‍්‍රනාන්දු මහත්මිය ඉවත් වීමත් සමඟ මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතර දෙනෙකු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ඉවත් වී සිටිති.
 
ඒ අනුව පිළිවෙළින් ඊවා වනසුන්දර ,බුවනෙක අළුවිහාරේ ,ප‍්‍රියන්ත ජයවර්ධන  සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්ව සිටිති.
 
මෙම පෙත්සමේ  වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයද, ජනාධිපති ලේකම්,පොලිස්පති,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.


ලබන නොවැම්බර් 27 වැනි දා පෙත්සම යළි කැඳවේ.

මිග්යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා දීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට තමා කැඳවා ඇති බව පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සිටි පෙත්සමින් පෙන්වා දේ. එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.